Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features බංග්ලාදේශයට ඉහළ බලාපොරොත්තු

බංග්ලාදේශයට ඉහළ බලාපොරොත්තු

editorial - 2019 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------------------------------------------------------------------------------------------------------------------
“මෙතෙක් කාලයක් තුළ ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගීවූ ශක්තිමත්ම බංග්ලාදේශ කණ්ඩායම මෙම කණ්ඩායමයි. පසුගිය කාලය පුරා අවසන් තරග බොහෝ ප්‍රමාණයක් අපි පරාජයට පත්වුණා. ඇතැම්විට අනාගතයේදී විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙන්න පුළුවන් - මුෂ්ෆිකූර් රහීම්.
-------------------------------------------------------------------------------------------------------------------------------


අයර්ලන්තයේදී පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කළ බංග්ලාදේශය ඉහළ ජයග්‍රාහී මානසිකත්වයකින් ලෝක කුසලාන තරගාවලියට එක්වන්නේය.

ලෝක කුසලාන තරගාවලි 5 කට සහභාගීවු බංග්ලාදේශය පළමු වරට 2015 වසරේදී අර්ධ අවසන් පූර්ව වරට සඳහා සුදුසුකම් ලබාගත්තේය. 2017 වසරේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පළමු වරට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර 2018 දී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ සියලු තරග ජයගත් ඔව්හු ඉන්දියාව හමුවේ අවසන් තරගය පරාජයට පත්වූහ.

2018 වසරේ සිට මේ දක්වා පැවැති තරග 27 කින් තරග 17 ක් ජයගෙන ඇති බංග්ලාදේශය එහිදී පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කිරීමට සමත්විය.

තරුණ ක්‍රීඩකයින්ගෙන් සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් 3 ක් පරාජය කිරීමට හැකිවුවහොත් පහසුවෙන්ම අවසන් පූර්ව වටයේ ස්ථානයක් ලබාගැනීමට හැකිවනු ඇත. එය පහසු කටයුත්තක් නොවූවද එය බංග්ලාදේශ කණ්ඩායමට වාසනාවන්ත දිනයක් වුවහොත් ඕනම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව ඔවුන්ට ඇත.

මෙම තරගාවලිය මෂ්රෆී මොර්ටසාගේ අවසන් එක්දින තරගාවලිය වීමට බොහෝ ඉඩකඩ ඇති අතර ඔවුන්ගේ නායකයාට හොඳ සමුගැනීමක් දීමට බංග්ලාදේශ ක්‍රීඩකයන් උත්සහගනු ඇත.

දක්ෂතාවලින් පිරිපුන් තරුණ ක්‍රීඩකයින් බංග්ලාදේශ සංචිතය තුල සිටියද වැඩිපුරම ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකූර් රහීම්, සකීබ් අල් හසන්, මහමුදුල්ලා සහ මෂ්රෆී මොර්ටසා මත බංග්ලාදේශ කණ්ඩායම යැපෙන්නේය. පෙර පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පැවැත්වූ තරගාවලියන්හිදී ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකූර් රහීම්, සකීබ් අල් හසන් සහ මහමුදුල්ලා පිත්තෙන් ඔවුන්ගේ හැකියාවන් හොදින්ම පෙන්වූහ.

2015 දී පැවැති ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේදී මහමුදුල්ලා පිට පිටම ලබාගත් ශතක දෙක කැපී පෙණුනි. එමෙන්ම 2015 ලෝක කුසලානයේදී සහ 2017 ශූරයන්ගේ කුසලානයේදී ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකූර් රහීම්, සකීබ් අල් හසන් ඔවුන්ගේ වගකීම මැනවින් ඉටුකළහ.

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් සහ අංක 3 පිතිකරු ලෙස පැමිණෙන සකීබ් අල් හසන් ඉනිම ගොඩනගන අතර මුෂ්ෆීකූර් සහ මහමුදුල්ලා බංග්ලාදේශ ඉනිමේ අවසානය කරා රැගෙන යති.

35 වැනි වියෙහි පසුවන මොර්ටසා තරුණ වේගපන්දු බලඇණියේ පෙරමුණ ගනිමින් ඔවුන්ව ජයග්‍රහණය කරා මෙහෙයවයි. දකුණතින් වේගපන්දු යවන මොර්ටසා 2018 වසරේදී කඩුලු 33 ක් දවාගෙන ඇති අතර ඕවරයකදී ලකුණු ලබාදීමේ සාමාන්‍යය 4.99 ක් ලෙස රඳවා ගැනීමටද සමත්ව සිටී. බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත කණ්ඩායම් වලට එරෙහිව පැවැති තුන්කොන් තරගාවලියේදී ඔහුට දවාගැනීමට හැකිවූයේ කඩුලු 6 ක් පමණි.

ආරම්භයේදී ඉතා සෙමින් ලකුණු රැස්කිරීමේ නිරතවන සෞම්‍ය සර්කාර් අවස්ථානුකූලව ලකුණු රැස්කිරීමට හැකියාව ඇති පිතිකරුවෙකි. පසුගිය සතියේ අවසන්වූ තුන්කොන් තරගාවලියේදී තරග 3 කට සහභාගීවු සර්කාර් අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 193 ක් රැස්කිරීමට සමත්විය. මෙම වමත් පිතිකරුවා අනෙක් ආරම්භක පිතිකරුවාවූ ටමීම් ඉක්බාල් සමගින් තරගයේ වැඩිබරක් කරට ගනිමින් පිතිකරණයේ යෙදෙන්නේය.

සර්කාර්ට අමතරව සබීර් රහ්මන්, මොසැඩෙක් හුසේන්, ලිටන් දාස් සහ මොහොමඞ් මිතුන් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි තරුණ පිතිකරුවෝ වෙති. තුන්කොන් තරගාවලියේදී සබීර් රහ්මන්, මොසඩෙක් හුසේන්, ලිටන් දාස් සහ මොහොමඞ් මිතුන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ දක්ෂකා දැකගැනීමට හැකිවනු ඇත.

සකීබ් අල් හසන්, මහමුදුල්ලා, මොහොමඞ් සයිෆුඩීන්, මෙහෙදි හසන් සහ මොසඩක් හුසේන් තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස කණ්ඩායම තුල සිටීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමබරවේ. එංගලන්ත තණතිරූ පිතිකරුවන්ට යෝග්‍යවන අතර බංග්ලාදේශ පන්දු යවන්නන්ට බොහෝ පරිස්සම් වීමට සිදුවනු ඇත.

ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ නවසීලන්තයට මෙන් තරගයක් දිනවිය හැකි වේගපන්දු බලඇණියක් බංග්ලාදේශය සතුව නැත. මොර්ටාසා, මුෂ්ෆිකූර් රහීම්, රුබෙල් හුසේන් සහ අබූ ජයේද් විශ්වාස කළ හැකි පන්දු යවන්නන් වුවද පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවකදී සියලුදෙනා එක්වී කටයුතු කළ යුතුව ඇත.

දකුණතින් පන්දු යවන මොර්ටාසාට තමන්ව පාලනය කරමින් පන්දු යැවිය හැකි අතරම අනෙක් පන්දු යවන්නන් නිසි ආකාරයෙන් යෙදවීමේ හැකියාවක්ද ඔහු සතුව ඇත. රුබෙල් හුසේන්ව යොදාගැනීමට හැකි අතර ඉක්මනින් පන්දු යවමින් අවශ්‍යම මොහොතකදී කඩුල්ලක් දවාගැනීමේ හැකියාවද ඔහු සතුව ඇත.

ඇෆ්ඝනිස්තානය, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පහසුවෙන්ම පරාජය කිරීමේ හැකියාව බංග්ලාදේශය සතුව ඇති අතර අවසන් පූර්ව වටයට පිවිසිීම සඳහා තවත් සුපිරි කණ්ඩායම් දෙකක් පරාජය කිරීම ඔවුන්ට ප්‍රමාණවත් වනු ඇත. සුපිරි කණ්ඩායම් වලට පරාජය වුවද ඔවුන් විශාල සීමාවකින් පරාජය නොවනු ඇත.


බංග්ලාදේශ සංචිතය
මෂ්රෆී මොර්ටාසා (නායක), ටමීම් ඉක්බාල්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකූර් රහීම්, මහමුදුල්ලා, සකීබ් අල් හසන්, මොහොමඞ් මිතුන්, ශබීර් රහ්මන්, මොසැඩැක් හුසේන්, මොහොමඞ් සයිෆුඩීන්, මෙහෙදි හසන්, රුබෙල් හුසේන්, මුස්ටෆිසූර් රහ්මන්, අබූ ජයෙද්.

 

මෂ්රෆී මොර්ටාසා

 

ටමීම් ඉක්බාල්

------------------------------------------------------------------------------------------------------------------------------------

සැකසුම : රොෂාන් ගුණරත්න

 


අදහස් (0)

බංග්ලාදේශයට ඉහළ බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.