Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි
එල්.පී.එල්. - 2022

මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි

editorial - 2022 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොළඹ ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග මහනුවර කණ්ඩායම දෙවැනි තැනට ඇද දමමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද යාපනය කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ඇන්ජලෝ මැතිව්ස්, පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 74 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.  

ලකුණු 67 කට කඩුලු 7 ක් බිඳවැටී අඩ පණ වී තිබූ කොළඹ ඉනිමට නව ජවයක් එක්කළ මැතිව්ස්, 8 වැනි කඩුල්ල වෙනුවෙන් බෙනී හොවෙල් (43) සමග එක්ව පන්දු 41 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ හොවෙල්, පන්දු 20 කදී වාර්තා වූ සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සැරසුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 178 ක් ලබාගත් අතර ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක තිසර පෙරේරා පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළේය.

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 31 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද, අෂාන් රන්දික පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද රැස්කරමින් යාපනය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 11 කින් ලකුණු 17 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි.

ලකුණු 85 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සධීර සමරවික්‍රම (32) සහ ෂොයිබ් මලික් (නොදැවී 35) සමත් වූහ. පන්දු 25 කදී වාර්තා වූ සධීරගේ ඉනිම හතරේ පහර 3 කින්ද, පන්දු 26 කදී වාර්තා වූ මලික්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්වත විය.


යාපනය කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 178
(රහ්මනුල්ලා ගුර්බාස් 17, අවිෂ්ක ප්‍රනාන්දු 32, අෂේන් රන්දික 27, සධීර සමරවික්‍රම 32, ෂොයිබ් මලික් නොදැවී 35, තිසර පෙරේරා 29, බෙනී හොවෙල් 37/2)

කොළඹ ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 172
(දිනේෂ් චන්දිමාල් 19, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 73, ඩොමිනික් ඩ්‍රේක්ස් 14, බෙනී හොවෙල් 43, ජේම්ස් ෆුලර් 32/2, විජයකාන්ත් වියස්කාන්ත් 32/2)


අදහස් (0)

මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.