Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic පිතිකරුවෝ යාපනයට ජය ගෙනෙති
එල්.පී.එල්. - 2022

පිතිකරුවෝ යාපනයට ජය ගෙනෙති

editorial - 2022 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ලෙස යාපනය කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 51 ක පහසු ජයක් වාර්තා කිරීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 4 කට සහභාගි වී සිටින යාපනය කණ්ඩායම එහිදී ලැබු තෙවැනි ජය මෙය විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 240 ක් ලබාගත් අතර එය එල්.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 35 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය.  

අවිෂ්ක ප්‍රනාන්දු (54) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් වූ ගුර්බාස්, යාපනය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්නේය. මෙවර තරගාවලියේ අවිෂ්ක ලබාගත් දෙවැනි අර්ධ ශතකය මෙය වූ අතර පන්දු 30 කට මුහුණදුන් ඔහු, හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසීය.

සධීර සමරවික්‍රම (නොදැවී 38) සහ ෂොයිබ් මලික් (32) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනගමින් යාපනය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. පන්දු 22 කදී වාර්තා වූ සධීරගේ ඉනිම හතරේ පහර 6 කින්ද, පන්දු 15 කදී වාර්තා වූ මලික්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය දඹුල්ල අවුරා කණ්ඩායමට ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවා ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළමින් දඹුල්ල ඉනිම අඩ පණ කළේය.

වේගවත් පිතිහරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ පන්දු 31 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය. ඔවුන් දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගුවද, දඹුල්ල කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.


යාපනය කිංග්ස් පිල - ඕවර 20 කදී 4 කට 240
(රහ්මනුල්ලා ගුර්බාස් 73, අවිෂ්ක ප්‍රනාන්දු 54, ධනංජය ද සිල්වා 19, සධීර සමරවික්‍රම නොදැවී 38, ෂොයිබ් මලික් 32, ළහිරු කුමාර 56/2)

දඹුල්ල අවුරා පිල - ඕවර 20 කදී 8 කට 189
(ෂෙවොන් ඩැනියෙල් 29, භානුක රාජපක්ෂ 38, දසුන් ශානක 44, රවිඳු ප්‍රනාන්දු නොදැවී 19, බිනුර ප්‍රනාන්දු 22/4, සුමින්ද ලක්ෂාන් 50/2)


අදහස් (0)

පිතිකරුවෝ යාපනයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.