Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ගාල්ල ක්‍රීඩකයෝ මහනුවර අපරාජිත බව බිඳ දමති
එල්.පී.එල්. - 2022

ගාල්ල ක්‍රීඩකයෝ මහනුවර අපරාජිත බව බිඳ දමති

editorial - 2022 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් 12 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජය හමුවේ මහනුවර කණ්ඩායම මේ දක්වා තරගාවලිය තුළ රඳවාගෙන සිටි අපරාජිත බව බිඳවැටිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි. තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි අෂේන් බණ්ඩාර පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් ලබාගත්තද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ලකුණු 70 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 55 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද බණ්ඩාර සමත් වූ නමුත් මහනුවර කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 15 කදී වාර්තා වූ චාමිකගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්තේය. ගාල්ල ඉනිම ආරම්භ කරමින් අවසන් පන්දුව දක්වම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු තනුක දාබරේ පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 70 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

මුලු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට ගාල්ල පිතිකරුවන් සිවුදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මහනුවර පන්දු යවන්නෝ සමත වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කාර්ලෝස් බ්‍රැත්වේට් ඉන් කඩුලු 3 කටම හිමිකම් කීවේ ප්‍රතිවාදීන්ට ලකුණු 17 ක් පමණක් ලබාදෙමිනි. ඔහුගේ ඕවර 4 ට නිලකුණු ඕවරයක්ද ඇතුළත් විය.

එතැන් පටන් නුවනිඳු ප්‍රනාන්දු (56) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දාබරේ බිඳවැටී තිබූ ගාල්ල ඉනිමට නව ජවයක් එක් කළේය. ඉසුරු උදාන යැවූ ගාල්ල ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට පන්දු 50 කට මුහුණදී සිටි නුවනිඳුගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් අන්තර්ගත වී තිබිණ.


ගාල්ල ග්ලැඩියේටර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 153
(තනුක දාබරේ 70, නුවනිඳු ප්‍රනාන්දු 56, ඉමාඩ් වසීම් නොදැවී 15, කාර්ලෝස් බ්‍රැත්වේට් 17/3, ඉසුරු උදාන 19/2)

මහනුවර ෆෝල්කන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 141
(පැතුම් නිස්සංක 29, අෂේන් බණ්ඩාර නොදැවී 41, චාමික කරුණාරත්න 32, ලක්ෂාන් සඳකැන් 22/2, නුවන් තුෂාර 26/2)


අදහස් (0)

ගාල්ල ක්‍රීඩකයෝ මහනුවර අපරාජිත බව බිඳ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.