Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසරණ වෙති

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසරණ වෙති

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශ්වාසය තැබිය හැකි මට්ටටම් වේග පන්දු යවන්නකු නොසිටීමත් පිතිකරුවන්ගේ ආරක්‍ෂක බැම්ම බිඳගෙන යාමට පන්දු යවන්නන් අසමත් වීමත් හේතුවෙන් කිසිම ආකාරයේ තර්ජනයකින් තොරව සිය පිතිහරඹය කරගෙන ගිය ඉන්දියානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්හ.

බිඳ වැටුණ කඩුලු තුනෙන් දෙකක් පළපුරුදු දඟ පන්දු යවන්නන් වන රංගන හේරත්ට සහ ඩිල්රුවන් පෙරේරාට හිමිවූ අතර අනෙක දුවද්දී දැවී යාමක් විය.  එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයක පළමු දිනයේ පිතිකරුවන් සතු වාසිය තරගයේ පළමු දිනය නිමා වන විට උපරිම අයුරින් උකහාගැනීමට ඉන්දියානුවෝ සමත්ව සිටිති.

ඉන්දියාව - පළමු ඉනිම 
ෂිකාර් ධවාන්  - ක.මු.කළා ප.ඩිල්රුවන් 35
ලෝකේෂ් රාහුල් - දුවද්දී දැවී ගියා 57
චෙටේස්වාර් පුජාරා - නොදැවී  128
විරාට් කෝලි - ඇ.මැතිව්ස් ප.හේරත් 13
අජින්ක්‍යා රහනේ - නොදැවී  103
අතිරේක (නි.ල. - 4. පා.ල.- 3, නිප - 1) 8
එකතුව ඕවර 90 කදී කඩුලු 3 ක් දැවී  344
කඩුලු වැටීම 
1-56(ධවාන්), 2-109(රාහුල්), 3-133(කෝලි), 
පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ 
 රිදිමන් සහා, හර්දික් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, උමේෂ් යාදව් සහ මොහොමඩ් ෂාමි
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 17.4-2-63-0  
රංගන හේරත් 24-3-83-1  
දිමුත් කරුණාරත්න 3-0-10-0  
ඩිල්රුවන් පෙරේරා 18-2-68-1  
මාලින්ද පුෂ්පකුමාර 19.2-0-82-0  
ධනංජය ද සිල්වා 8-0-31-0  

අද දිනයේ තරගය අවසන් වීමට ඕවරයක් තිබියදී අජින්ක්‍යා රහනේ කඩුල්ල මුවා කළේ යයි විනිසුරුවරයා තීරණය කළ නමුත් එයද තුන්වැනි විනිසුරුවරයා වෙත යොමු කළ පිතිකරුවා, තමන් දැවීගියා යැයි නම්කළ පන්දුව පා ආවරණයේ වැදීමට පෙර පිත්තේ වැදුණු බව තහවුරු කළේය. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතු විනිසුරු තීරණ විමසීමේ අවස්ථා දෙකම අහිමි වී ඇති බැවින් සැක සහිත තීරණයක් විමසා බැලීමේ තවත් අවස්ථාවක් නැත.

දිමුත් කරුණාරත්නගේ පන්දු යැවීම ඊයේ පරීක්‍ෂා කළ බැලූ නමුත් අද දිනයේ යැවුණු ඕවර 90 කින් දිමුත්ට ලැබුණේ ඕවර 3 ක් පමණි. ඕවර 80 ක් නිමාවේදී දෙවැනි නව පන්දුව ලබාගත් නමුත් එයින් පන්ද හතරක් පමණක් යැවූ නුවන් ප්‍රදීප් පාදයේ ආබාධයක් හේතුවෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය. එතැන් සිට නැවතත් දඟ පන්දු යවන්නෝ පන්දු යැවීම ඇරඹූහ.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 211 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා සිටි චෙටේස්වාර් පුජාරා (නොදැවී 128) සහ අජින්ක්‍යා රහනේ (නොදැවී 103) දිනය අවසානයේදී ක්‍රීඩාගාරයට පියමං කළේ ශතක දෙකක් මිටමොළවා ගනිමිනි. පිට පිටම දෙවැනි තරගයේදීත් ශතකයක් ලබාගත් චෙටේස්වාර් පුජාරා පැය පහකට වැඩි කාලයක් පිටියේ රැඳුණු අතර හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සැරසීය.

මෙම පිතිකරුවන් දෙදෙනාගේ සාර්ථක සම්බන්ධතාව හේතුවෙන් අද දින තේ පානයෙන් අනතුරුව කඩුල්ලක් දවාගැනීමේ අවස්ථාවක් නොමැතිවම ඕවර 32 ක් යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදුවිය. ඒ අතරවාරයේදී ඉන්දීය පිතිකරුවන් දෙදෙනා විසින් ලකුණු පුවරුවට එක්කළ ලකුණු සංඛ්‍යාව 106 කි.

දිගු ගමනකට සූදානම් වෙමින් සිටි ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලකුණක් කරා යාමට උත්සාහ කරද්දී දුවද්දී දැවී යාම ශ්‍රී ලංකා පිල බලාපොරොත්තු නොවූ සහනයක් විය. පිට පිටම තමාගේ හයවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රාහුල්ගේ තරග 18 ක ටෙස්ට් දිවියේ 8 වැනි අර්ධ ශතකයද එයයි. වෛරස් උණ රෝගයකින් පීඩා විඳීම හේතුවෙන් ගාල්ලේදී පැවැති තරගයට සහභාගි නොවූ රාහුල් කණ්ඩායමේ ස්ථාවර ආරම්භක පිතිකරුවා වන අතර අද පෙරවරුවේ දෙවරක්ම සිය කඩුල්ල රැකගැනීමටත් වාසනාව ලද්දෙකි.

ලකුණු 19 ක් ලබා සිටියදී දිමුත් කරුණාරත්නගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය රාහුල් තමන්ට ලැබුණු තීරණය විතීවි ක්‍රමවේදයට යොමු කළේය. රූපවාහිනී පුනරූපන වලින් දිස්වූයේ පන්දුව කඩුල්ලට ඉහළින් ඇදී යන බවයි. අර්ධ ශතකයට ලකුණු 2 ක් මෑතින් සිටියදීත් ස්ටම්ප් කිරීමකින් යාන්තමින් ගැලවුණු දකුණත් ආරම්භක පිතිකරුවා රංගන හේරත්ගේ ඊළඟ පන්දුව එක්ස්ට්‍රා කවර්ස් කලාපය හරහා හතරේ සීමාවට යැවීය. එහෙත් ශතකයක් කරා යාමේ මග අවහිර කරගත්තේ තමන්ගේම වරදිනි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව කිසිම පැකිළීමකින් තොරව පන්දුවට පහරදීම තෝරාගත් ඉන්දීය පිල වෙනුවෙන් තරමක වේගවත් ආරම්භයක් ලබාගත් ෂිකාර් ධවාන්, පන්දු 37 කට මුහුණ දෙමින් ලකුණු 35 ක් ලබාගත්තේය. නුවන් ප්‍රදීප්ගේ වාරය නිමා කරමින් පන්දුව අතට ගත් ඩිල්රුවන් පෙරේරා සිය පළමු පන්දුවේදීම ෂිකාර් ධවාන් පිටියෙන් ඉවත් කිරීම නිසා ඉන්දීය පිලට ලකුණු ගලා ඒමේ වේගය අඩාල වුවද දිවා ආහාරයෙන් පසුව ඉන්දියානුවෝ අවශ්‍ය ලකුණු වේගය කරා අවතීර්ණ වූහ. දිනය නිමාවේදී ලකුණු 344 ක් පුවරුවට එක්ව තිබිණ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මාලින්ද පුෂ්පකුමාර ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකාවේ 141 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වෙයි. වෙනස්කම් තුනක් සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා නැවතත් කැඳවා සිටිති. අසේල ගුණරත්න තුවාල ලබා සිටින හෙයින් මෙම තරගයට ක්‍රීඩා නොකරයි. ධනුෂ්ක ගුණතිලකට සහ ළහිරු කුමාරට ස්ථාන අහිමි වී තිබේ.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා

ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි 


අදහස් (0)

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසරණ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.