සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ඩකාහිදී හෙට (17) පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 1.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු වන අතර බංග්ලාදේශය ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානයේ පසු වෙයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු මහේල ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨතම පා දඟ පන්දු යවන්නා වන රංගන හේරත් විවේක ගැන්වීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින තරග 33 ක් පවත්වා ඇති අතර ඉන් තරග 28 ක් ශ්‍රී ලංකාව ජය ලබා තිබේ. බංග්ලාදේශය තරග 4 ක් ජය ලබා ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් මෙම තරගාවලියේදී බංග්ලාදේශ පිලේ නායකත්වය දරණ අතර බංග්ලාදේශය විස්සයි20 තරගාවලිය පරාජයට පත්වුව ද ප‍්‍රබල ශ්‍රී ලංකා පිලට තරග දෙකේදීම ජයග‍්‍රහණය සදහා අවසන් පන්දුව දක්වා සටනක් දීමට බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ සමත් වූහ.
මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ද, විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ද, ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටියි.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අෂාන් ප‍්‍රියංජන්, සීකුගේ ප‍්‍රසන්න, නුවන් කුලසේකර, කිත්රුවන් විතානගේ, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා සහ සචිත‍්‍ර සේනානායක
බංග්ලාදේශ එක්දින සංචිතය:
මුෂ්ෆිකුර් රහීම් (නායක), තමීම් ඉක්බාල් (උප නායක), එනමුල් හක්, ශම්සූර් රහමන්, මොමිනුල් හක්, ශකීබ් අල් හසන්, නසීර් හොසේන්, මහුමුදුල්ලා, සොහග් ගාෂි, අර්ෆට් සනී, මෂ්රාෆි මොර්ටාෂා, රුබෙල් හොසේන්, අල් අමීන් හොසේන්, නයීම් ස්ලාම් සහ ශෆියුල් ස්ලාම්
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.