Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලාංකීය ලකුණ

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලාංකීය ලකුණ

රොෂාන් ගුණරත්න - 2017 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට රැගෙන යමින් වාණිජ අයිතිකරුවන්ගේ කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගීවන පළමු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩිකාව වීමේ මහඟු අවස්ථාවට හිමිකම් කීමට චමරි අතපත්තු සූදානම් වන්නීය. වසර ගණනාවක් තිස්සේ පැවතෙන නමුත් ඇල්මැරී ගිය ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට නව ජීවයක් ලබාදුන් ප්‍රවේගකාරී පිතිකාරිණියක් ලෙසද ඇය හැඳින්විය හැකිය.


අගෝස්තු මස 10 වැනිදා සිට එංගලන්තයේදී පැවැත්වෙන ‘කියා සුපර් ලීග්’ තරගාවලියේදී යෝක්ෂයර් ඩයමන්ඞ් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව චමරිට හිමිවි ඇත. ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක වන බෙත් මූනී ආබාධයකට ලක්වීම හේතුවෙන් චමරි අතපත්තු යෝක්ෂයර් ඩයමන්ඞ් කණ්ඩායමට ආදේශ කර ඇත.


වයඹ පළාතට අයත් නගරයක් වන ගොකරැල්ල ප්‍රදේශයෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන චමරි, මේ වන විට 27 වැනි වියේ පසුවන්නීය.


මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී නොදැවී ලකුණු 178 ක් ලබාගත් චමරි, එක්දින ජාත්‍යන්තර තරග අතරට එක්වී වසර හතකට පසුව ක්‍රිකට් ලොව වැඩි දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වූවාය. 2010 වසරේ අප්‍රේල් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින වරම් හිමිකර ගත් ඇගේ තෙවැනි ශතකය මෙය වන්නේය.


එම තරගයේදී ප්‍රබල ඕස්ටේ්‍රලියානු පන්දුයවන්නියන් හමුවේ සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ චමරිට කාන්තා එක්දින තරගවලදී පිතිකාරිනියක් ලබාගත් ලොව තෙවැනි ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ලබාගැනීම සඳහා වැය වූයේ පන්දු 143 ක් පමණි. කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි වූ ඇගේ විශිෂ්ට ඉනිම දැවැන්ත හයේ පහර 6 කින් සහ හතරේ පහර 22 කින් සමන්විත විය.


මෙහිදී කැපීපෙනෙන සිදුවීම වූයේ චමරි මෙම ඉනිම ක්‍රීඩා කළේ ලෝක කාන්තා ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව වීමය. එම තරගයෙන් කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත් වුවත් ලොව ප්‍රධාන පෙලේ පන්දු යවන්නියන් හමුවේ දියත් කළ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් චමරි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන හිමිකර ගත්තාය.


මෙම විශිෂ්ට පිතිහරඹයත් සමගින් කාන්තා ක්‍රිකට් වාර්තා පොත අලුත් කිරීමටද චමරි සමත් වූවාය. කාන්තා එක්දින ක්‍රිකට් වාර්තා පොතට අනුව චමරිගේ මෙම ඉනිම දෙවැනි වූයේ ඕස්ටේ්‍රලියාවේ බෙලින්ඩා ක්ලාර්ක් 1997 වසරේදී ඩෙන්මාර්කයට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 229 ට සහ ඉන්දියාවේ දීප්ති ශර්මා මේ වසරේදී (2017) අයර්ලන්තයට එරෙහිව රැස්කළ ලකුණු 188 ට පමණි. එමෙන්ම මෙය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩිකාවක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවත් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමක් ලෙසද වාර්තා පොතට එක්විය.


චමරිගේ මෙම ඉනිම බොහෝ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ පැසසුමට ලක් වූ අතර ට්විටර් සහ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි ඔස්සේද බොහෝ දෙනා ඇයට සුබ පැතුම් එක් කළහ. චමරිගේ පිතිහරඹය හමුවේ දැඩි ලෙස පහර කෑමට ලක්වුවද, ශ්‍රී ලංකා ඉනිම නිමා වී ඇය ආපසු ක්‍රීඩාගාරය වෙත යන විට ඇයට සුබ පැතීමට ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවෝද අමතක නොකළහ.


එම තරගයේදී චමරි තනිවම ලකුණු 178 ක් රැස්කරද්දී, සෙසු ක්‍රීඩිකාවන්ගේ අසාර්ථක පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 257 කි. ප්‍රතිශතයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවෙන් 69.26 ්‍ර ක්ම රැස්කළ ඇත්තේ චමරිය. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිඩිකාවක් විසින් කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරන ලද අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.


සිය ඉනිම නිමා වීමෙන් අනතුරුව චමරි මාධ්‍ය වෙත පවසා සිටියේ ක්‍රීඩිකාවන් සමග ක්‍රීඩා කිරීමට වඩා ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීම මගින් තමාට මෙම ප්‍රවේගකාරී රිද්මයට පැමිණීමට හැකි වූ බවයි. තවද තමා දිගින් දිගටම කළ පුහුණුවීම් වල ප්‍රතිඵලයක් ලෙසද ඇය මෙම ඉනිම හැඳින්වූවාය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ චමරි කියා සිටියේ තමාට අවශ්‍ය වූයේ කුමාර් සංගක්කාර විලසින් ඉනිම අරඹා සනත් ජයසූරිය විලසින් ඉනිම අවසන් කිරීමට බවයි.


මේ වන විට එක්දින තරග 66 කට ක්‍රීඩා කර ඇති චමරි අතපත්තු, එහිදී ශතක 3 ක් සහ අර්ධ ශතක 12 ක් සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1986 කි. ඒ අනුව ලකුණු 2000 සීමාව පසුකර යෑම සඳහා ඇයට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 14 ක් පමණි. මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන ඇති ක්‍රීඩිකාව මෙන්ම ශතක ලබා සිටින එකම ක්‍රීඩිකාව වන්නේද චමරි අතපත්තුය.


එක්දින වරම් ලබා වසර දෙකක් ගතවන විට එනම් 2011 වසරේ අප්‍රේල් මාසයේදී අයර්ලන්තයට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී සිය මංගල ශතකය (111) ලබාගැනීමට චමරි සමත් වූවාය. කෙසේ වුවත් ඇයට සිය දෙවැනි ශතකය ලබාගැනීම සඳහා එතැන් සිට තවත් වසර 3 ක් ගතවන තුරු බලා සිටීමට සිදුවූ අතර 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු 106 ක් රැස්කරමින් ඇය ශතක දෙකක හිමිකාරියක් බවට පත්වූවාය.


වේගයෙන් පන්දුවට පහරදීමට අමතරව අවස්ථානු කූලව පන්දුයැවීම සඳහා යොමුවන චමරි මේ දක්වා දවාගනෙ ඇති කඩුලු සංඛ්‍යාව 12 කි. 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව රංගිරි දඹුලු ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳ හෙළීම එක්දින තරගයකදී යවනලද හොඳම පන්දුයැවීම ලෙස සටහන් වේ.


සිය වේගවත් පිතිහරඹය නිසා එක්දින වරම් දිනාගැනීමටත් පෙරාතුවම චමරිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවිය. ඒ 2009 වසරේ ජූනි මාසගේදීය. එතැන් සිට මේ දක්වා විස්සයි20 ජාත්‍යන්තර තරග 58 කට ක්‍රීඩා කර ඇති ඇය එහිදී එක් අර්ධ ශතකයක් (52) සමගින් ලකුණු 1001 ක් රැස්කගෙන ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 8 කි.


1990 වසරේ පෙබරවාරි 9 වැනිදා උපත ලද චමරි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඉබ්බාගමුව මධ්‍ය මහ විදුහලට යෑමත් සමගිනි. ඉබ්බාගමුව මධ්‍ය මහ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් දැක්වූ දක්ෂතා මත ඇයට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවිය. මේ වන විට ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම නියෝජනය කරන්නීය.


ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලබාගත් පළමු එක්දින ශතකයට හිමිකම් කී චමරි, තවත් අපූර්වතම වාර්තාවකට හිමිකම් කියන්නීය. ඒ ප්‍රීමියර් ලීග් දේශීය තරගාවලියේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමයි. කිසිදු දේශීය ක්‍රීඩිකාවක් මේ දක්වා ප්‍රීමියර් ලීග් තරග වලදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වී නැති අතර හයේ පහර 8 කින් සහ හතරේ පහර 24 කින් චමරි සිය ද්විත්ව ශතකය අලංකාර කර තිබිණ.


යන්තම් 23 වැනි වියට පා තබන විටම චමරිට ඉතාමත් බාර දූර වගකීමක් පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගත් අතර ඒ ඇය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායතක්වයට පත් කිරීමයි. කෙසේ වුවත් එක්දින තරග 13 කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ චමරිට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට හැකි වන්නේ එක් තරගයකදී පමණි. ඉතිරි තරගය 12 දීම ශ්‍රී ලංකාවට හිමිවන්නේ පරාජයයි.


කෙසේ වුවත් විස්සයි20 තරගවලදී නායකත්වය අතින් ඊට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කළ චමරි 2015 වසරේ ජනවාරි මාසයේ  සාජාහිදී පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට 2-1 ක තරගාවලි ජයක් අත්කර දීමටද පුරෝගාමී වුවාය.


පිට පිට වසර දෙකකදී (2015 සහ 2016) ශ්‍රී ලංකාවේ දක්ෂතම පිතිකාරිණිය ලෙස සම්මානයට පාත්‍රවූ චමරි, ශ්‍රී ලංකා කණ්ඩායමට කාන්තා නායකත්වය දුන් 10 වැනි ක්‍රීඩිකාව ලෙසද ඉතිහාසයට එක් වූවාය.


සිය එක්දින දිවියේදී චමරි මුහුණදුන් අවාසනාවන්තම සිදුවීම ලෙස හැදින්විය හැක්කේ 2015 වසරේ පාකිස්තානයට එරෙහිව සාජාහිදී පැවැති එක්දින තරගයකදී ලකුණු 99 කට දැවී යෑමයි. එම තරගයේදී පන්දු 109 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග සිය තෙවැනි ශතකයට ලකුණක් මෙපිටින් සිටි චමරි, අස්මයිවා ඉක්බාගේ පන්දුවක් හමුවේ ජවේරියා ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියාය.


එහෙත් එයින් සැළුණේ ඇය නොවේ. අහිමි වූ අවස්ථා නැවත හිමිකරගැනීමේ අරමුණින් ඇය තරග වදින්නිය.

 


අදහස් (0)

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලාංකීය ලකුණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.