Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.එම්.එස් - ශා. තෝමස් කෝට්ටේ සටන අද - හෙට

සී.එම්.එස් - ශා. තෝමස් කෝට්ටේ සටන අද - හෙට

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කෝට්ටේ සී.එම්.එස්. - ශ්‍රී ජයවර්ධනපුර විදුහල (පැරණි ක්‍රිස්තියානි විදුහල) හා පිටකෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර 45 වැනි වාර්ෂික ‘‘කෝට්ටේ සටන’’ මහ ක්‍රිකට් තරගය අද සහ හෙට (22 – 23) බොරැල්ල පී. සරවණමුත්තු (ඕවල්) පිටියේ දී පැවැත් වේ.

මෙම මහ ක්‍රිකට් තරගය මූලාරම්භය 1950 දක්වා ඇදී ගියත් 1963 දී එය අත්හිටුවීමෙන් පසුව 1975 සිට නූතන ‘‘කෝට්ටේ සටන’’ මහ තරගය නැවත පණ ගැන්වී තිබේ.

1822 ආරම්භවීමෙන් දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන එකල කෝට්ටේ මිෂනාරි ක්‍රිස්තියානි විදුහල නමින් ආරම්භ කළ 1963 දී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල බවට පත් වූ එය දැන් හැඳින්වන්නේ සී.එම්.එස්. - ශ්‍රී ජයවර්ධනපුර විදුහල නමිනි. මෙහි පළමු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ කේ.ජේ. රණසිංහ මහතාගේ නමින් මෙම මහ තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා කුසලාන ප්‍රදානය කිරීම නැවත ආරම්භ වී තිබේ.

කෙසේ වුවත් 1975 සිට කෝට්ටේ සටන මහ තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට ප්‍රදානය වූ ශෛල්‍ය වෛද්‍ය ජී.එන්. පෙරේරා කුසලාන දැන් ප්‍රදානය කෙරෙන්නේ දෙවිදුහල අතර පැවත්වෙන වාර්ෂික එක්දින තරගයේ ශූරයන්ටය.

මෙම මහ තරගයේ අවසන් වාර්තා වූ පූර්ණ ජය වර්තා කර ඇත්තේ 2003 වසරේ දී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල විසිනි.

මෙම තරග වාරයේ දෙවිදුහල තරග ගණනාවකටම සහභාගී වෙමින් පූර්ණ ජයග්‍රහණ මෙන්ම පරාජයන් ලැබීමෙන් ද මිශ්‍රඵල අත්කර ගෙන තිබේ. දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන ගාමිණි හෙට්ටිආරච්චි හා අරුනෝද පෙරේරා පියතුමාගේ අධීක්‍ෂණයෙන් මහ තරග ඒකාබද්ධ කමිටුව විසින් මෙවරත් මහ තරගය සංවිධානය කරන බව එහි ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රම්‍යා වික්‍රමසිංහ මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා 1977 හා 1978 යන වසර දෙකේදීම ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන අතර ක්‍රීඩකයකුව සිටි අවධියේ සිට මේ දක්වා ‘‘කෝට්ටේ සටන’ මහ තරගයේ සංවිධාන කටයුතු මෙහෙයවීමට පුරෝගාමීවූ අයෙකි.

සී.එම්.එස්. - ශ්‍රී ජයවර්ධනපුර විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ පස්වැනි වසරේ වර්ණලාභියකු වන තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන බියංක තමීර විසිනි. තෙවැනි වසරේ අත්දැකීම් ලාභියකු වන අෂේන් රන්දිම කණ්ඩායමේ උපනායකයා වන අතර එහි කඩුලු රකින්නාය.

සී.එම්.එස්. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන හිටපු නායක හේෂාන් උදාර හය වැනි වසරේ වර්ණලාභියෙකි. සචින් ෂෙහාන් සිවු වැනි වසරේ ක්‍රීඩා කරන්නෙකි. තලීෂ සිල්වාත් තෙවැනි වසරට ක්‍රීඩා කරන්නෙකි.

අර්ජුන් අභිෂේක්, චාමික නෙතුසර, වෙනුක බණ්ඩාර, චනිඳු හිමල්ක, දිනෙත් පන්සිළු, මනුත් මල්ෂුක, තේමිය මධුෂාන්, රවිඳු තාරක, දේෂාන් පෙරේ, පසිඳු පින්සර, තිසංශ රන්තිස් සචින්ත නිර්මාල් හා සත්සර හසන්ජ සී.එම්.එස්. සංචිතයේ සෙසු ක්‍රීඩකයෝ වෙති. සම්පත් ලියනගේ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසත් අනුර වීරසිංහ මහතා සහය පුහුණුකරු ලෙසත් එහි කටයුතු කරන අතර තරිඳු හෙට්ටිආරච්චි මහතා කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරයි.

ශාන්ත තෝමස් කණ්ඩායම ගැන සාකච්ඡා කිරීමේ දී කණ්ඩායමේ නායක ජනංජය අබේරත්න පස්වැනි වසරේ වර්ණලාභී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි. පිතිකරුවකු ලෙස ඔහු තරග 12 කදී ලකුණු 300 ක් ඉක්ම වූ පිතිකරුවෙකි. තෙවැනි වසරේ කුෂාන් ආදිත්‍ය තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා දක්වන කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නාය.

විරුල් කෙත්මික ඩයස් පස්වැනි වසරේ වර්ණලාභි තවත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකි. ගිය වසරේ කණ්ඩායම් නායකත්වය දරා ඇත. ලකුණු 500 සීමාවට පැමිණ සිටින්නෙකි.

මැතිව් සොලමන් සිව්වැනි වසරේ කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම මෙතෙක් හොඳම දක්‍ෂතා පළකර ඇති ක්‍රීඩකයායි. ලකුණු 450ක් ලැබීමට අමතරව තරග 12 ක දී කඩුලු 30ක් බිඳ හෙළා ඇත.

දිනුජ ජයසිංහ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවායි. මේ වාරයේ ලකුණු 500 සීමාවට ඉතා ආසන්නවී සිටියි. සේයත් ජයතිලක, චමෝත් නිමන් ද, සදිල් නෙත්මික, ගීත් කවින්ද හෙල්ලවැව යන එම සියලු ක්‍රීඩකයෝ කණ්ඩායමේ තෙවැනි වසරේ කල් ගෙවන තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන්නෝ වෙති.

සුදත් නානායක්කාර මහතා ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම් පුහුණුකරු ලෙසත් නිෂාන්ත අනුර කුමාර මහතා කණ්ඩායම් භාර ආචාර්වරයා ලෙසත් කටයුතු කරති.

 

කෝට්ටේ සී.එම්.එස්. - ශ්‍රී ජයවර්ධනපුර විදුහල 

 

පිටකෝට්ටේ ශාන්ත තෝමස් විදුහල

 


අදහස් (0)

සී.එම්.එස් - ශා. තෝමස් කෝට්ටේ සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.