Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පරාජයෙන් බේරීමේ අභියෝගය පිතිකරුවන්ට
චිතගොන් ටෙස්ට් තරගය

පරාජයෙන් බේරීමේ අභියෝගය පිතිකරුවන්ට

editorial - 2022 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉතා අසීරුවෙන් ලබාගත් මුල් ඉනිමේ වාසිය එලෙසම තිබියදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ බංග්ලාදේශ ක්‍රීඩකයෝ චිතගොන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවේදී තරගයේ ග්‍රහණය දැඩිකරගත්හ. ලකුණු 68 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වන අද (18 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ලකුණු 39 කට කඩුලු 2 ක් අහිමි කරගෙන සිටියේය.

ඉතිරිව ඇත්තේ දිනයක් පමණි. එහෙත් එය පස්වැනි දිනය වන බැවින්ද, බංග්ලාදේශ කණ්ඩායම දඟ පන්දු යවන්නන්ගෙන් මනාව සන්නද්ධව සිටින බැවින්ද, හෙට දිනයේදී වඩාත් පරෙස්සමෙන් ක්‍රීඩා කරමින් තරගය බේරා ගැනීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අභියෝගය වී තිබේ.

වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් මහතාය.

දිවා ආහාරයෙන් පසුව යැවූ පළමු පන්දු දෙකේදීම පිට පිටම කඩුලු දෙකක් දවාගත් කසුන් රාජිත නැවත වරක් තරගයට කඩාවැදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දොරටු විවර කර දුන්  නමුත් රාජිතගේ කඩුලු ත්‍රිත්වය වළක්වාලූ සකිබ් අල් හසන් ශ්‍රී ලංකාවට හරස් විය. එතැන් සිට නැවත වරක් තමන්ගේ මන්දගාමී පිතිහරඹය ආරම්භ කළ බංග්ලාදේශ පිතිකරුවෝ මුල් ඉනිමේ වාසිය අත්කරගනිමින්, සියලු දෙනා දැවී ලකුණු 465 ක් ලබාගත්හ.

මේ අතරවාරයේදී තම 8 වැනි ටෙස්ට් ශතකය ලබාගත් මුෂ්ෆිකුර් රහීම්, තනි නූලකින් එල්ලෙමින් තිබූ තමන්ගේ ටෙස්ට් අනාගතය ද ආරක්ෂා කරගත්තේය.

තරගය මේ තරම් සෙමින් ඇදී යාමට හේතුව පිතිකරුවන්ගේ මන්දගාමී පිතිහරඹයයි. විශේෂයෙන්ම මුෂ්ෆිකුර් රහීම් සිය ශතකය කරා යාමේදී අවසන් ලකුණු 10 ලබාගැනීමට පන්දු 28 කට මුහුණ දුන්නේය. අවසානයේදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හතරේ සීමාවට යවමින්, සිය ශතකය සම්පූර්ණ කරන විට මුෂ්ෆිකුර් රහීම් පන්දු 270 කට මුහුණ දී තිබිණ.
 
ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් දිගින් දිගටම වෙහෙස කළ බංග්ලාදේශයේ හිටපු නායකයා මෙන්ම කඩුලු රකින්නාද වන මුෂ්ෆිකුර් රහීම් අද පෙරවරුවේදී ටෙස්ට් ලකුණු 5000 කඩයිම පසුකළ පළමු වැනි බංග්ලාදේශ ජාතිකයා ලෙසින් ක්‍රිකට් වාර්තා පොතට එක්විය.

වසර 2000 දී ටෙස්ට් වරම් ලද බංග්ලාදේශයෙන් බිහිවූ සාර්ථකම පිතිකරුවන් අතර මුෂ්ෆිකුර් රහීම් ඉදිරියෙන්ම සිටින්නෙකි. පිතිකරුවකු පමණක් නොව, කණ්ඩායමේ කඩුලු රකින්නාද වන රහීම් සිය 81 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 5000 කඩයිම පසුකළේය. ටෙස්ට් ශතක 8 ක හිමිකරුවනු වන රහීම් ඒවායින් 3 ක් ද්විත්ව ශතක බවටත් පරිවර්තනය කර තිබේ.

වසර 2013 දී, ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයකදී, ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 200 ක් ලබාගත් රහීම් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් පළමුවැන්නාද විය. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වන්නේ වසර 2018 දී සිම්බාබ්වේ පිලට එරෙහිව නොදැවී ලකුණු 219 ක් ලබාගැනීමයි.

වසර 2005 දී ටෙස්ට් වරම් දිනාගත් රහීම්, බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයාද වෙයි. අද පෙරවරුවේදී පිටියට පිවිසෙන විටත් ලකුණු 5000 කඩයිමට ලකුණු 15 ක් මෑතින් සිටියේය.

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ද ලකුණු 5000 කඩයිම ආසන්නයේ සිටි නමුත් ලකුණු 133 ක් ලබා සිටියදී ඔහු මස් පිඬුවක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඊයේ පිටියෙන් ඉවත්ව ගියේය. ටමීම් පිටියෙන් ඉවත්වන විට ලකුණු 5000 කඩයිම පසුකිරීමට ඔහුට අවශ්‍යව තිබුණේ ලකුණු 19 ක් පමණි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රහීම් තම දේශය වෙනුවෙන් ලකුණු 5000 කඩයිම පසුකළ පළමුවැන්නා ලෙසින් ඉතිහාසයට එක්විය.

ලිටන් දාස් දැවීයාමෙන් පසුව ටමීම් ඉක්බාල් නැවතත් පිටියට පිවිසියද ඔහුට එකම ලකුණක් හෝ ලබාගැනීමට අවසර නොලැබිණ. කඩුල්ල වටා යමින් පන්දු යවමින් සිටි කසුන් රාජිතගේ පන්දුව, වමත්කාරයාගේ පිත්තත් පා ආවරණයත් අතරින් රිංගා කඩුල්ලට කඩා වැදුණේ ටමීම්ගේ අද දිනයේ පිතිහරඹය එක පන්දුවකට සීමාකරමිනි. මෙම දැවීයාමත් සමගින් කසුන් රාජිත කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමේ අවස්ථාවට මුහුණ දුන් නමුත් සකිබ් අල් හසන් එය වැළැක්වූයේය.

තුවාල ලද විශ්ව ප්‍රනාන්දු වෙනුවට ‘කම්පන ආදේශකයා’ ලෙසින් මෙම තරගයට එක්වූ කසුන් රාජිත (60/4) ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූයේය.

- 213


අදහස් (0)

පරාජයෙන් බේරීමේ අභියෝගය පිතිකරුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.