Last Update  :  2025-07-25 15:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමින්ද වාස් බෑ කියයි

චමින්ද වාස් බෑ කියයි

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවා වශයෙන් බංග්ලාදේශ සංචාරය සඳහා නම්කරන ලද චමින්ද වාස් මහතා එම තනතුර බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. සංචාරයෙන් සංචාරය සඳහා කරනු ලබන පත්කිරීමත්, සීමිත ඕවර තරග (සුදු පන්දුව) සහ ටෙස්ට් තරග (රතු පන්දුව) වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් කරනු ලබන පත්කිරීමත් චමින්ද වාස් මහතා ප්‍රතික්ෂේප කරයි.

වේග පන්දු යවන්නකු නිසියාකාරව පුහුණුකිරීම සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගතවන බවත් එබැවින් එම තනතුරට පත්කරන කව්රු හෝ කෙනකු වේවා ඔහුට දීර්ඝ කාලීන පත්වීමක් දිය යුතු බවත් වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ චමින්ද වාස් මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංචිතයේ කටයුතු කරන බැවින් ඔහුට තමන් වෙනුවෙන් ඉල්ලීම් කළ නොහැකි බවයි.

“එයා බෑ කියනවා නම් ඒක එයාගේ තීරණයක්. ඒත් ක්‍රිස් සිල්වර්වුඩ් කියන්නෙත් වේග පන්දු යවන්නෙක් නිසා එයාටත් පුළුවන් වේග පන්දු යවන්නන්ගේ දිහා ටිකක් හොඳන් බලන්න”
“කොහොම වුණත්, බොහෝ වෙලාවට, අපි වෙනත් වේග පන්දු පුහුණුකරුවෙක් යවන්නයි හිතන් ඉන්නේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

බංග්ලාදේශ සංචාරයේදී දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් පියල් විජේතුංග මහතාත්, පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් මනෝජ් අබේවික්‍රම මහතාත් පත්කරනු ලැබ ඇතත් ඔවුන් දෙදෙනාගේ පත්වීම් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිවී නැත. පිතිහරඹ පුහුණුකරුවකු පත්කර නැතත් සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතාට එම වගකීම පවරා ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි කීර්තීමත් දඟ පන්දු යවන්නකු වන රංගන හේරත් මහතා බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා ලෙසින් මේ වන විටත් කටයුතු කරයි. වසර 2014 සිට 2017 දක්වා බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වූ චන්දික හතුරුසිංහ මහතා 2018 සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වශයෙන් පසුගිය සතියේදී පත්කරන ලද නවීඩ් නවාස් මහතාත් බංගලාදේශ 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවා වී සිටියේය.

බංග්ලාදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (20 වැනිදා) පුහුණුවීම් ආරම්භ කළේය. ලබන සඳුදා පැවැත්වෙන වෛද්‍ය පරීක්‍ෂණ සහ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ වලින් පසුව පන්දු යැවීම සහ පන්දුවට පහර දීමේ පුහුණුවීම් ආරම්භ කෙරෙනු ඇත.

නායක දිමුත් කරුණාරත්න යෝක්ෂයර් ප්‍රාන්තය නියෝජනය කිරීම සඳහා මේ වන විට එංගලන්තය බලා පිටත්ව ගොස් සිටී. ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අබානි කණ්ඩායම නියෝජනය කරන ධනංජය ද සිල්වා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් ඇත.

ජාතික කණ්ඩායමේ නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සහ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා යන දෙදෙනාම මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. සිල්වර්වුඩ් මහතා අද සිය රාජකාරි ආරම්භ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 08 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය. මේ වන විට කොරෝනා වසංගතය ක්‍රමයෙන් තුරන්ව යමින් තිබෙන බැවින් බංග්ලාදේශයේ නිරෝධායන නීති ශ්‍රී ලංකා කණ්ඩායමට බලපැවැත්වෙනු නැත. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ඩකා නුවරට පිවිසිීමේදී පී.සී.ආර්. පරීක්‍ෂණ කිහිපයකට මුහුණ දීමට සිදුවනු ඇත.

 


අදහස් (0)

චමින්ද වාස් බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.