Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 150 වැනි සංවත්සරය ඉසව් පෙළකින් සමරයි

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 150 වැනි සංවත්සරය ඉසව් පෙළකින් සමරයි

editorial - 2023 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රිකට් සමාජයක් වන කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය මෙම වසරේදී එහි 150 වැනි සංවත්සරය සැමරීමට සූදානමින් සිටියි. මෙවර සංවත්සරය සැමරීම වෙනුවෙන් ඉසව් මාලාවක් සංවිධානය කිරීමට කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ වත්මන් නිලධාරී මඩුල්ල කටයුතු කරමින් සිටියි.

එහි පළමු අංගය ලෙස පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන්  පිරිමි සය සාමාජික ක්‍රිකට් තරගාවලියක්ද, කණ්ඩායම් 4 ක සහභාගිත්වයෙන් කාන්තා සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් ඊයේ (10 වැනිදා) සහ අද (11 වැනිදා) සංගම් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සංගමය කටයුතු කළේය.

එමෙන්ම කෝල්ට්ස් ක්‍රිකට් සමාජය බිලියඩ් ක්‍රීඩාවට ඇති දීර්ඝකාලීන සබඳතාවයට ගෞරවයක් ලෙස   විශේෂ බිලියඩ් තරගාවලියක්ද සංවිධානය කිරීමට සූදානමින් සිටින අතර එය ජුලි 21 වැනිදා සිට සති අන්ත දෙකක් පුරා පැවැත්වේ. එයට අමතරව ක්‍රීඩා සමාජයේ විවිධත්වය ප්‍රදර්ශනය කරමින් අගෝස්තු මස 5 සහ 6 යන දෙදින තුළ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේදී හොකී තරගාවලියක් පැවැත්වීමටද කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කටයුතු කරමින් සිටියි.

සැමරුම් උත්සවයේ තවත් කොටසක් ලෙස කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සිය කීර්තිමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් සැප්තැම්බර් මස 23 වැනිදා අමුත්තන්, ක්‍රීඩා සමාජ සාමාජිකයන්, පැරණි ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ලෝලීන්ගේ සහභාගීත්වයෙන් උපහාර රාත්‍රියක් පැවැත්වීමටද නියමිතය. එහිදී ක්‍රීඩකන්ගේ ජයග්‍රහණවලට ගෞරව කිරීම සහ වසර ගණනාවක් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සාර්ථකත්වයට දායක වූ පුද්ගලයින්ට උපහාර දැක්වීමද සිදුවේ.

මෙම සුවිශේෂී අවස්ථාවේදී ක්‍රීඩා රසිකයින්ට ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ අත්දැකීම් ගැන දැනගැනීමට සහ ක්‍රීඩා සමාජයේ විශිෂ්ඨ ගමන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. 150 වසරක කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ ගමන්මග හා ක්‍රීඩා ජයග්‍රහණ ඇතුළත් ඉතිහාස පිළිබඳ ලියවුනු පොතක්ද එදින ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.  

සංවත්සර සැමරුම ඔක්තෝම්බර් 21 වැනිදා පැවැත්වෙන සැමරුම් රාත්‍රියකින් අවසන් වන අතර  සංගීතය සහ විනෝදාස්වාදය පිරි එම රාත්‍රියේදී කෝල්ට්ස් ක්‍රිකට් සමාජ සාමාජිකයන්ට, සිය මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමග විනෝදවීම සඳහා විවිධ තේමා යටතේ විවිධ අංග සංවිධානය කරනු ඇත. සංවත්සර සැමරුම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපති නිශාන්ත රණතුංග මහතා මෙසේ පැවසීය.

”මෙම 150 වැනි සංවත්සරය කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ ඉතිහාසය සහ ක්‍රීඩාව සඳහා කැපවීම පිළිබඳව සාක්ෂි දරනවා. මෑත වසරවලදී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නවීන ඉදිකිරීම් සහ වෙනත් අංග මගින් එහි ප්‍රමිතිය තවදුරටත් නංවාලීමට බොහෝ පියවර ගෙන තිබෙනවා. අපගේ ප්‍රජාව තුළ ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට තවත් වසර ගණනාවක් බලා සිටින බැවින් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම සඳහා අප හා එක්වන ලෙස අපි සැමට ආරාධනා කරනවා.” යැයි සභාපතිවරයා පැවසීය.

මෙම මාධ්‍ය හමුවට කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ මහ ලේකම් මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර, භාණ්ඩාගාරික එම්. රත්නහරන්, ක්‍රීඩා සමාජ නායක දිනේෂ් වික්‍රමනායක, උප සභාපති චමින්ද මෙන්ඩිස්,  අනුශාසක ට්‍රවෙර් රාජරත්නම්, විධායක කමිටු සාමාජික චමින්ද වාස්, සමාජ ලේකම් චමින්ද රත්නායක යන මහත්වරු සහ විධායක කමිටු සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 


අදහස් (0)

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 150 වැනි සංවත්සරය ඉසව් පෙළකින් සමරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.