Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රන් හටන මහ තරගය 29-30

රන් හටන මහ තරගය 29-30

editorial - 2024 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පානදුර සමන් කාරියවසම්)

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හා මොරටුව මහා විද්‍යාලය අතර  72 වැනි ‘රන් හටන’ මහා ක්‍රිකට් තරගය මෙම මස  29 - 30 දෙදින තුළ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

රන් හටන ක්‍රිකට් සංග්‍රාමයේ මෙතෙක් පැවති තරග 71 න් පානදුර සුමංගල විදුහල් කණ්ඩායම තරග 8ක් ද මොරටු මහා විදුහල් කණ්ඩායම තරග 7ක් ද ජයගෙන ඇති අතර, ඉතිරි තරග ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

මෙවර පාසල් ක්‍රිකට් වාරයේ සුමංගල විද්‍යාලයීය කාණ්ඩායම අවුරුදු 19 න් පහළ II වැනි කාණ්ඩයේ ‘ඒ’ තරගාවලියේ පළමු වටයේ තරග 8 කට ක්‍රීඩාකර ඇති අතර, සිය ප්‍රතිවාදි පාසල්වලට එරෙහිව ජයග්‍රහණ 7 ක් ලබාගෙන ඇති අතර, ඉන් 5ක් ම ඉනිමකින් ලද ජයග්‍රහණයන් වේ.

මොරටු මහා විද්‍යාලයීය කාණ්ඩායම වයස 19න් පහළ පළමු කාණ්ඩයේ දෙවැනි කොටසේ තරගාවලියේ පළමු වටයේ තරග අටකට ක්‍රීඩාකර ඉනිමක ජයාග්‍රහණයක් ද පළමු ඉනිමේ ජයග්‍රහණ 5ක් සමඟින් ජයග්‍රහණ 6 ක් ලබාගෙන ඇති අතර එක් තරගයක් ඉනිමකින් සහ එක් තරගයක් පළමු ඉනිමේ දී පරාජයට පත්වී ඇත.

සුමංගල විදුහල වෙනුවෙන් මෙවර ක්‍රිකට් වාරයේ දී දුරංක සිල්වා පිත්තෙන් දස්කම් දක්වමින් ශතක 2ක් සමඟ ලකුණු 500 ඉක්මවා ඇත. ක්‍රිෂාන් එරංග ලකුණු 400 ක් ද රුසිත් ජයවර්ධන ශතකයක් සමගින් ලකුණු 400 ක් ඉක්මවා ලබාගෙන ඇත. ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන හිටපු නායක විශ්ව ළහිරු ද ශතක 2ක් සමඟින් ලකුණු 400 ලබාගෙන ඇත. එයට අමතරව නෙක්ෂ ඉද්දමල්ගොඩ එක් ශතකයක් සමඟින් ලකුණු 400 ඉක්මවා ලබාගෙන ඇති අතර උප නායක  කවිඳු ගයාත්‍ර  ශතකයක් සමඟ ලකුණු 300 ඉක්මවමින් පිත්තෙන් දස්කම් දක්වා ඇත.

පන්දු යැවීමේ දී විශ්ව ළහිරු සහ මෙවිඳු කුමාරසිරි කඩුලු 50 සීමාවන් ඉක්මවා දස්කම් දක්වා තිබේ.

මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් මෙවර ක්‍රිකට් වාරයේ දී උපනායක ඉසුරු විදර්ශන පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 600 ඉක්මවා ලබා තිබෙන අතර දෙනෙත් සිතුමිණ ලකුණු 500 ක් ලබාගෙන ඇත.

එසේම කාංචන නිම්ෂාන් ලකුණු 400ක් ද, නායක මහිත් අප්පුහාමි ලකුණු 300 ඉක්මවා රැස්කර ඇත. උපනායක ඉසුරු විදර්ශන සහ නිශිත ප්‍රනාන්දු කඩුලු 40 සීමාවන් ඉක්මවා යමින් පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

1983 වර්ෂයේ දී නායක දොන් අනුරසිරි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පළමු සුමංගල ක්‍රීඩකයා බවට පත් විය. ඉන් අනතුරුව 1995 දී සුමංගල විද්‍යාලයේ නායකත්වය දැරූ ඉන්දික ගාල්ලගේ සහ 2001 වසරේ නායකත්වය දැරූ ඩිල්රුවන් පෙරේරා ටෙස්ට් වරම් ලැබූ ක්‍රීඩකයන් ය. 2023 දී කණ්ඩායමේ නායක විශ්ව ළහිරු ශ්‍රී ලංකා 19 න් පහළ ජාතික කණ්ඩායමත්  2024 දී 19 න් පහළ ලෝක කුසලාන කණ්ඩායමත් නියෝජනය කළේය.

සුමංගල විද්‍යාලයේ ක්‍රිකට් දිවිය ආරම්භ කළ තවත් කැපීපෙනෙන ක්‍රීඩකයන් අතර කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ සහ ඕෂධ ප්‍රනාන්දු  කැපීපෙනේ.  ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීමට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළේ සරත් ප්‍රනාන්දු සහ බර්නාඩ් පෙරේරායි. මොරටු මහා විද්‍යාලයෙන්  ශ්‍රී ලංකා පිල නියෝජනය කළ පළමු ටෙස්ට් ක්‍රීඩකයා අජන්ත මෙන්ඩිස් වූ අතර, වර්තමානයේ නිෂාන් මදුෂ්ක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටී.

දෙවිදුහල් අතර එක් දින තරගය මෙම මස 31 මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

 

ශ්‍රී සුමංගල විද්‍යාලයීය සංචිතය: විදූෂ පීරිස් (නායක), කවිඳු ගයාත්‍ර (උපනායක), විශ්ව ලහිරු, රසික දිල්ෂාන්, දුරංක සිල්වා, මන්මිත කහපලාරච්චි, අකිල වෙදමුල්ල, සෙනිර විජේගුණසිංහ, මෙවිඳු කුමාරසිරි, ක්‍රිෂාන් එරංග, නෙක්ෂ ඉද්දමල්ගොඩ, දිනාල් වීරසිංහ, සන්දීප් වීරසිංහ, බිහඟ සිල්වා, අනුහස් ද සිල්වා, රුසිත් ජයවර්ධන.

 

මොරටු මහා විද්‍යාලයීය සංචිතය: මහිත් අප්පුහාමි (නායක), ඉසුරු නිදර්ශන (උපනායක), දෙනෙත් සිතුමිණ, විහඟ නිම්සර, ෂෙහාර ප්‍රනාන්දු, කාංචන නිම්ෂාන්, හසිඳු ගිම්සර, විහඟ නෙත්සර, හිමාෂ් තරුෂ්ක, නිෂිත ප්‍රනාන්දු, මලිත් ෂෙහාන්, අකලංක සිල්වා, සඳනෙත් යහම්පත්, සංජන සෙනෙවිරත්න, සඳුන් සුවාරිස්, සිතුම් සිල්වා.


අදහස් (0)

රන් හටන මහ තරගය 29-30

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.