Last Update  :  2025-10-23 14:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට කඩුලු 6 ක ජයක්
කාන්තා ලෝක කුසලාන - 2025

ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට කඩුලු 6 ක ජයක්

editorial - 2025 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දැවැන්තයන්ගේ ගැටුම එය විය. එංගලන්ත කාන්තාවන් කිසියම් සහනයක් ලබාගත්තේ නම් තත්ත්පර කිහිපයක් ඇතුළත ඒ සහනය තමන්ගේ පැත්තට හරවා ගැනීමට ඕස්ට්‍රේලියානු  කාන්තාවෝ සමත් වූහ. 

ඉන්දියාවේ ඉන්දෝර් නුවර හොල්කාර් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගයේ පන්දුවෙන් පන්දුව වාසිය දෙපිලටම දෝලනය වෙද්දී එංගලන්ත කාන්තාවෝ සිය ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 244 ක් ලබාගත්හ. 

ලකුණු 245 ක ඉලක්කයක් කරා යද්දී ඕස්ට්‍රේලියානුවන්ගේ හොඳම පිතිකාරිණියෝ සිව්දෙනාම ලකුණු 68 ක් ඇතුළත ක්‍රීඩාගාරයට ගියහ. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 180 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ඈෂ්ලි ගාඩිනර් (නොදැවී 104) සහ ඇනබෙල් සදර්ලන්ඩ් (නොදැවී 98) කඩුලු 6 ක ජයක් කරා ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

ඕස්ට්‍රේලියානු කාන්තාවන් සිය ජයග්‍රහණය සම්පූර්ණ කළේ පන්දු 57 ක් ඉතිරිව තිබියදීය. එය දැවැන්තයන්ගේ ගැටුමක් යයි මුලින්ම කීවේ එබැවිනි. 

ඇෂ්ලි ගාඩිනර් මුහුණ දුන් පන්දු 73 න් 16 ක් හතරේ සීමාව පසුකර ගිය අතර ඇනබෙල් සදර්ලන්ඩ්ගේ පන්දු 112 ට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. මෙම පිතිකාරිණියෝ දෙදෙනා කාන්තා එක්දින තරග වලදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් නව ඕස්ට්‍රේලියානු වාර්තාවක් පිහිටවූහ.

කඩුලු 4 ක් පමණක් අතැතිව තිබියදීත් එංගලන්ත කාන්තාවෝ අවසන් ඕවර 10 න් ලකුණු 76 ක් උදුරා ගත්හ. එහෙත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පන්දු යැවීම සහ අති විශිෂ්ට පන්දු රැකීම නොවන්නට එංගලන්ත පිතිකාරිණියන්ට පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යාමේ අවස්ථාව තිබිණ. 

දකුණතින් පා දඟ පන්දු යවන අලානා කිංග්, සිය ඕවර 10 ලකුණු 20 කට සීමා කළේ ඇය යැවූ පන්දු 60 න් පන්දු 41 ක්ම නිළකුණු පන්දු ලෙසින් සටහන් කරමිනි. 

ආරම්භයේ සිටම තරගය කෙතරම් උද්වේගකර වූයේද යත් දෙවැනි ඕවරයේදී කිම් ගාත් යැවූ නිපන්දුවක් වෙනුවෙන් ලැබුණු නිදහස් පහර පන්දු යැවූ ගාත්ගේ හිසටත් හතරේ සීමාවටත් ඉහළින් යවමින් ලකුණු 6 ක් ලබාගැනීමට ටැමී බියුමන්ට් පසුබට නොවූවාය. ඒ තරගයේ 9 වැනි පන්දුවයි. 

ඕස්ට්‍රේලියාව මෙන්ම එංගලන්තයද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින නමුත් දෙපාර්ශ්වයටම මෙම තරගය ජයගැනීමෙන් තමන්ගේ ස්ථානය තහවුරු කරගැනීමේ අවශ්‍යතාව තිබිණ. බෙහෙවින් තණකොළ සහිත හොල්කාර් තණතීරුවේදී දෙපිලම වේග පන්දුව කෙරේ විශ්වාසය තබා තිබිණ. 

තරගයේ 8 වැනි ඕවරය නිමාවන විට එංගලන්තය කිසිවකු නොදැවී ලකුණු 55 ක් ලබා සිටියද ඊළඟ ඕවර දෙක යැවූ කිම් ගාත් සහ ඇනබෙල් සදර්ලන්ඩ් 10 වැනි ඕවරය නිමාවන විටත් ලකුණු සංඛ්‍යාව 55 ම රඳවා ගත්හ. ඕස්ට්‍රේලියානුවන්ගේ වෘත්තීය මට්ටම කදිමට කැපී පෙනුණේ හෙදර් නයිට් දවාගැනීමට පන්දු යැවූ ආකාරයෙන් සහ විතීවි ක්‍රමවේදය හරහා එංගලන්තයේ හිටපු නායිකාව දවාගත් ආකාරයෙනි. පන්දුව කඩුල්ලේ පහතින් ඇදී එන බව දුටු සොෆී මොලිනෙක්ස් එය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තාය. 

මේ අතරවාරයේදී ටැමී බියුමන්ට් හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ද සමගින් පන්දු 59 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළාය. 

එංගලන්ත කාන්තාවන් හිස එසවූයේ ඇලිස් කැප්සි සහ චාලී ඩීන් දෙදෙනා එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් එකතු කළ ලකුණු 61 ක සම්බන්ධතාව හේතුවෙනි. 6 වැනි කඩුල්ලත් ලකුණු 166 දී බිඳ වැටීමෙන් පසුව එක්වූ කැප්සි සහ ඩීන් දෙදෙනා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් සතුව තිබූ ග්‍රහණය පන්දු 52 ක් ඇතුළත නැවත වරක් එංගලන්තයට ඇද ගත්හ.

 
එංගලන්ත කාන්තා කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ට 244 යි
(ඇමී ජෝන්ස් 18, ටැමී බියුමන්ට 78, හෙදර් නයිට් 20, සොෆියා ඩන්ක්ලි 22, ඇලිස් කැප්සි 38, චාලි ඩීන් 26, සොෆී එක්සෙල්ස්ටන් නොදැවී 10, ඇනබෙල් සදර්ලන්ඩ් 60/3, සොෆී මොලිනෙක්ස් 52/2, ඈෂ්ලි ගාඩිනර් 39/2)

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම - ඕවර 40.3 කදී කඩුලු 4 ට 248 යි
(එලිස් පෙරී 13, බෙත් මූනි 20, ඇනබෙල් සදර්ලන්ඩ් නොදැවී 98, ඈෂ්ලි ගාඩිනර් නොදැවී 104 ලින්සේ ස්මිත් 43/2)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.