Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී සිය කණ්ඩායම ලකුණු 202 කට දැවී යාමෙන් පසුව තමන් මහත් විස්සෝපයට පත්වූ නමුත් පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා කණ්ඩායමේ මානසිකත්වය යහපත් තත්ත්වයක පවත්වා ගත් බව චමරි අතපත්තු කියයි.
“අපි 202 කට දැවී ගියාට පස්සේ ඔහු කණ්ඩායමට කතා කළ ආකාරයත්, සියලු දෙනාම මානසිකව වැටී සිටියදී ඔහු ඔවුන්ව පෙළඹවූ ආකාරයත් මම දැක්කා. පුහුණුකරුවෙක් හැටියට තියෙන්න ඕන ලොකුම දේ ඒක තමයි”
“ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ කුසලතා ඉගැන්වීමට අමතරව, ක්‍රීඩිකාවන්ගේ මනසට කතා කරලා, ඔවුන්ව පෙළඹවිය හැකි නම් පුහුණුකරුවෙකුගෙන් අපේක්ෂා කළ යුතු දේ ඒක කියලයි මම හිතන්නේ... (සඳුදා) අපගේ ජයග්‍රහණයට හිමි ගෞරවයේ විශාල කොටසක් ඔහු ක්‍රීඩිකාවන්ගේ කාමරයේදී කණ්ඩායම හසුරුවන ආකාරය වෙනුවෙන් ඔහුට හිමි විය යුතුයි” යයි චමරි අතපත්තු තරගයෙන් අනතුරුව පැවසුවාය.
සඳුදා තරගයෙන් පසුව චමරි අතපත්තු බොහෝ විවෘතම තම අදහස් පළකළාය.
“මම බොරු කියන්න කැමති නැහැ”
“අපි 49 වැනි ඕවරය (පන්දු 12 කින් ලකුණු 12 ක් ලබාගැනීමට තිබියදී) ආරම්භ කරන විට, අපට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තිබුණේ 25% ක් පමණයි... නමුත් සුගන්ධිකා (කුමාරි) යැවූ ඕවරය සහ ඇය නිර්මාණය කළ පීඩනයත් සමඟ තරගය අපේ පැත්තට බරවුණා.”
“අවසාන ඕවරයේ අපට ලකුණු 9 ක් ආරක්ෂා කිරීමට තිබුණාම තරගය ජයගන්න අපටත් අවස්ථාවක් තියෙන බව මම දැනගත්තා. ඒත් අපට තීරණය කරන්න තිබුණේ අවසන් ඕවරය යවන්නේ මම ද නැත්නම් උදේෂිකා (ප්‍රබෝධනී) ද කියලයි. ඒ වෙලාවේ උදේෂිකා ඇවිදින් මට කිව්වා, “චමරි, ඔයා අන්තිම ඕවරය ගන්න, මොකද ඔයා මට වඩා ඒකට සුදුසු මනෝභාවයකින් ඉන්නවා වගේ” කියලා”
“උදේශිකා කියන්නේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව. එයා එහෙම කිව්වාම අවසාන ඕවරය යැවීමට මට විශාල විශ්වාසයක් ලැබුණා.” යයි චමරි අතපත්තු කීවාය.
එදා නම් අතපත්තු යැවූ අවසන් ඕවරයේදී සියල්ලම සාර්ථක විය. අතපත්තුගේ පන්දු 6 ඇතුළත ක්‍රීඩිකාවන් තිදෙනකුම දැවී ගිය අතර තවත් ක්‍රීඩිකාවක් දුවද්දී දැවී ගියාය. එහෙත් හැමදාමත් නත්තල් නැතිවා වාගේ හැමදාමත් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකියි.
අවසන් ඕවරයේදී චමරි කළේ ඇයගේ අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගැනීමයි.
බංග්ලාදේශ පිතිකාරිණියන් ‘ස්වීප්’ පහර, පිටියේ ඈතට ඉහළින් පන්දුව යැවෙන ‘ස්ලොග්‘ පහර සහ ස්වීපර් කවර්ස් නැතහොත් ඩීප් කවර් කලාපයට පන්දුව යැවෙන ‘කට්’ පහර ගැසීමට කැමති බව ඇය දැන සිටියාය. එහෙත් මේ පහර ගැසීමට පිතිකාරිණියගෙන් තරමක් ඈතට පන්දුව පතිත විය යුතු වු බැවින් චමරි කළේ පිතිකාරිණියන්ට අවශ්‍ය දුර නොදී කඩුල්ල එල්ලයේ පන්දු යැවීමයි.
“බංග්ලාදේශ පිතිකාරිණියන් අතර කෙළින් ගහන්නේ (නිගාර් සුල්තානා) ජෝති විතරයි. අනෙක් අය ගහන්නේ හරහට. මම කඩුල්ල එල්ලයේ පන්දු යැව්වේ ඒ නිසයි. ඒක තමයි සාර්ථක වුණේ”
“ඒ අතරවාරයේ එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා ජෝති නිතරම ලෝන්ග් ඕෆ් කලාපයට පහර දෙන බව. ඒ හින්දා මම ‘මිඩ් ඕෆ්’ හි සිටි ක්‍රීඩිකාව තව ටිකක් පස්සට තල්ලු කරලා පන්දු යැව්වා. ඒ මගින් අපට පුළුවන් වුණා ජෝතිව දවාගන්න”
“එයා හිටියා නම් අපට තරගය දිනන්න වෙන්නේ නෑ” යයි ද අතපත්තු පැවසුවාය.
කෙසේ වෙතත් නායිකාව තම කණ්ඩායමේ පිතිහරඹය පිළිබඳව නම් මහත් අපේක්ෂාභංගත්වයට පත්ව සිටින්නීය. වරෙක ලකුණු 270 ක් හෝ 280 ක් ලබාගත හැකිව සිටි කණ්ඩායමක්, ඕවර 50 ඉක්මයාමටත් මත්තෙන් ලකුණු 202 කට දැවී ගිය ආකාරය ඕනෑම නායිකාවකගේ විස්සෝපයට කාරණාවකි.
“පළමුවෙන්ම කියන්න ඕනේ, අපි පන්දුවට පහර දුන්න ආකාරය ගැන මම සතුටු වෙන්නේ නෑ... අපිට හොඳ ආරම්භයක් තිබුණා, නමුත් අපි අපේ කාර්යය දිගටම කරගෙන ගියේ නැහැ...”
“නායිකාවක හැටියට වුණත්, අපි ක්‍රීඩා කළ ආකාරය ගැන මම සතුටු වෙන්නේ නැහැ... අපි ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඒත් අපි අපේ ශක්ති ප්‍රමාණයට ක්‍රීඩා කළේ නැහැ... පිතිහරඹයේදී හොඳ ආරම්භයක් ලබා ගැනීමෙන් පසුවත් අපි කඩා වැටුණා. අපි කඩුලු හතරක් අහිමි කර ගත්තා,
“ඇත්තටම අපි පළමු ඉනිමේදී (පන්දුවට පහර දීමේදී) ක්‍රීඩා කළේ ඉතාම දුර්වල විදිහටයි. එහෙම වුණාට පස්සේ කණ්ඩායමක් හොඳ මානසිකත්වයකට ගෙන ඒම හරිම අමාරුයි... එහෙම තියෙද්දිත් පුහුණුකරු රුමේෂ් රත්නායක ක්‍රීඩිකාවන්ගේ කාමරයට ඇවිත් කිව්ව දේ ඉතාමත් අගය කරනවා”
“ඔහු කිව්වේ.. “හරි, පළමු කොටස ඉවරයි. ඒත් ඔයාලා ඉදිරියට යා යුතුයි... නියම වේලාවට නිවැරදි සැලසුම් ක්‍රියාත්මක කරන්න, ඔයාලගේ ක්‍රීඩාව කරන්න සහ ධනාත්මක වෙන්න” කියලයි.
“අවසානයේ අපි ජයග්‍රහණය කළා... ඒක ඇත්තටම සැනසීමක්” යයි ද චමරි අතපත්තු පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.