Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අර්ධ මැරතන් තරගය යළිත්

අර්ධ මැරතන් තරගය යළිත්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික පාසල් ක‍්‍රීඩා උළෙලේ මග වැරදුණු අර්ධ මැරතන් බාලක තරගය යළිත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම අර්ධ මැරතන් තරගයේ දුර ප‍්‍රමාණ්‍ය වැඩි වීමෙන් ක‍්‍රීඩකයන්ට සිදු වූ අසාධාරණය හා දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (සෞඛ්‍ය, ශාරීරික අභ්‍යාස හා කී‍්‍රීඩා) බී.ඒ. අබේරත්න මහතා පවසයි.

අනුරාධපුරයේ දී පසුගිය සැප්තැම්බර් 13 වැනිදා පැවැති ජාතික පාසල් ක‍්‍රීඩා අර්ධ මැරතන් බාලක තරගයේ දුර කිලෝමීටර් 21 ක් වුවත් ඊට සහභාගී වූ සිසුන් තවත් කිලෝමීටර් හයක පමණ දුරක් ධාවනයේ යෙදී ඇතැයි පසුව හෙළි විය.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්‍ෂ වයි.එම්.එම්.කේ. අබේකෝන් මහතාට නියම කර ඇතැයි ‘ලංකාදීප’ය කළ විමසුමකදී අබේරත්න මහතා පැවසීය.

‘‘ඒ මහතා මෙසේද පැවසීය. සිද්ධිය දැන ගත් අවස්ථාවේදී එම වරද නිවැරදි කරන්න අපි උනන්දු වුණා. අර්ධ මැරතන් තරගයේ දුර එහිදී යළිත් ගණනය කිරීමක් කළා.

වැඩි දුර ප‍්‍රමාණයක් දිවීමට සිදුවීමෙන් තරග කරුවන්ට යම් අසාධාරණයක් සිදුවූ බව අපට පිළිගන්න වෙනවා. ඒ නිසා අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡුා කරලා අපි එම තරගය යළි පවත්වන්න තීරණයක් ගන්නවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡාවක් පවත්වනවා.

මේ අතර මෙවර ජාතික පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් 8 වැනිදා සිට 12 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වේ. වියදම අවම කරගැනීමේ අවස්ථාව ද සලකා ගනිමින් මෙම තරගාවලියට සමගාමීව අර්ධ මැරතන් (බාලක) තරගය යළි පැවැත්වීමට අධ්‍යාපන ක‍්‍රීඩා බලාධාරීන් තීරණය කරනු ඇතැයි ද වාර්තාවේ.

කෙසේ වුවත් මෙවර ජාතික පාසල් ක‍්‍රීඩා අර්ධ මැරතන් (බාලක) තරගයේ මග වැරදීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ක‍්‍රීඩා සහකාර අධ්‍යක්‍ෂවරයා වගකීම් බාර ගත යුතු බවට මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

අර්ධ මැරතන් තරගයක පිළිවෙත් උල්ලංඝනය වන ආකාරයෙන් මෙම තරගය සංවිධානය කර තිබූ බවට චෝදනා එල්ල වන අතර එහිදී ධාවන මාර්ගයේ සම්මත මග පෙන්වීමේ සලකුණු නොමැතිවීම තරගකරුවන් මෙම තත්ත්වයට මුහුණ දුන් බව වාර්තාවේ.

ධාවන මාර්ගයේ ඇතැම් ස්ථානවල මෙවන් මග සලකුණු යොදා තිබුණත් ඒවා දක්වා තිබුණේ ක‍්‍රීඩකයන්ට පිටුපාන පැත්තෙන් බැවින් මෙම සලකුණු ඔවුන්ට දර්ශනය නොවුණ බවද දැනගන්නට ඇත.

අනුරාධපුරය නගරය හරහා පැරණි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැති මෙම අර්ධ මැරතන් බාලක තරගය ජයගත්තේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ධනංජය ප‍්‍රසාද් ජයවර්ධනය.

කෙසේ වුවත් මෙම තරගය යළි පැවැත්වීමට තීරණය කරන්නේ නම් කලින් තරගයේ නිල ප‍්‍රතිඵලය අවලංගු කිරීමට සිදුවෙනු ඇතැයි ද වාර්තාවේ.

මේ අතර ජාතික පාසල් ක‍්‍රීඩා උළෙල ආරම්භ කිරීමේ පුරෝගාමියකු වන අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ක‍්‍රීඩා අධ්‍යක්‍ෂවරයකු වන සුනිල් ජයවීර මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ මෙවර අර්ධ මැරතන් බාලක තරගයේ වාර්තාවූ මෙම සිදුවීම් සත්‍ය නම් එය නැවත පැවැත්වීමට පියවර ගැනීම වඩාත් සුදුසු ක‍්‍රියාමාර්ගය බවයි.

 


●●●


අදහස් (0)

අර්ධ මැරතන් තරගය යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.