Last Update  :  2025-06-07 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඉස්ලාමාබාද් සාග් ක්‍රීඩා උළෙලට සූදානමේ වෙනසක් නෑ

ඉස්ලාමාබාද් සාග් ක්‍රීඩා උළෙලට සූදානමේ වෙනසක් නෑ

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ලබන (2026) ජනවාරි 23 සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන බව ප්‍රකාශවී තිබෙන14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාවේ සූදානමේ වෙනසක් නැතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර මෑතදී උද්ගතවූ යුදමය වාතාවරණය මේ වන විට සමනය වෙමින් තිබෙන තත්වයක් තුළ ක්‍රීඩා උළෙල යොදා ගත් පරිදිම පවත්වා අවසන් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සත්කාරක පාකිස්තානය ඇතුළුව ඊට සහභාගි වන රටවල් වඩාත් ව්ශ්වාසයෙන් පසු වන බවත් සුබ්‍රමනියම් මහතා පැවැසුවේ ලංකාදීපය ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

"මේ වන තෙක් ඉස්ලාමාබාද් සාග් ක්‍රීඩා උළෙල යොදා ගත් පරිදි ජනවාරියේදී පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් පිළිබදව ශ්‍රී ලංකාව දැනුවත් වෙලා නෑ. පාකිස්තානය හා ඉන්දියාව අතර පැන නැගුණු යුදමය වාතාවරණය පහව ගිය තත්වයක් තුළ අපට ඒ පිළිබදව විශ්වාසය වඩාත් තහවුරු වෙමින් තිබෙන බව තමයි දැනට කියන්න තියෙන්නේ.

අනික ඉන්දියාව මේ වන තෙක් කියලා නෑ ඉස්ලාමාබාද් සාග් ක්‍රීඩා උළෙලට තමන් සහභාගි වෙන්නේ නෑ කියලා. ඒ වගේම පාකිස්තානය කියලත් නෑ ඉන්දියාව එන්නේ නැතිනම් තමන් ක්‍රීඩා උළෙල අවලංගු කරනවා කියලා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් වලට ඔලිම්පික් කමිටුව උපදෙස් දීලා තියෙන්නේ ඒ සදහා පූර්ව සූදනමකින් කටයුතු කරන්න කියලා " යයි සුබ්‍රමනියම් මහතා වැඩිදුරටත් පැවැසීය.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට පසු ගිය පෙබරවාරි 28 වැනිදා රැස් වූ දකුණු ආසියානු  ඔලිම්පික් සභාවේ විධායක සභාව වසර 2021 සිට  අවස්ථා කීපයකදීම කල් දැමීමට සිදුවූ 14 වැනි සාග් ක්‍රීඩා උළෙල 2026 ජනවාරි 23 සිට 31 වැනිදා දක්වා ඉස්ලාමාබාද් නුවර ඇතුළු පාකිස්තානයේ ප්‍රධාන නගර කීපයක සත්කාරයෙන් පවත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම රැස්වීමට සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩකයන්ගේ කමිටුවේ සභාපති නිලූක කරුණාරත්න  සහභාගි වූහ.

කෙසේවූවත් අනතුරුව පාකිස්තානය හා ඉන්දියාව අතර පැන නැගුණු යුද ගැටුම හේතුවෙන් ඒ පිළිබදව නැවැතත් අවිනිශ්චිත තත්වයක් ඇති කර තිබෙන අතර එය මේ වන තෙක් මුළුමණින්ම පහව ගොස් නැත.

එහෙත් ඉස්ලාමාබාද් සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය පාකිස්තානයේ මධ්‍යම රජය වෙනුවෙන් සම්බන්ධ්කරණය කරන එරට පන්ජාබ් ප්‍රාන්ත රජය නොබෝදා ප්‍රකශ කර ඇත්තේ  ක්‍රීඩා උළෙල යොදා ගත් පරිදිම ඉස්ලාමාබාද් නුවරදී ජනවාරියේදී පවත්වා අවසන් කරන බවයි.
    
වසර 2019 දෙසැම්බරයේදී අවසන් (14) වැනි සාග් ක්‍රීඩා උළෙල පවත්වා තිබේ. පාකිස්තානයට මෙවර ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හිමිව ඇත්තේ වසර 2004 න් පසුව බැවින් එය වඩාත් සාර්ථකව පවත්වා අවසන් කිරීමට එරට මධ්‍යම රජය උනන්දුවී සිටියි.ඒ සදහා එරට මධ්‍යම රජය හා පන්ජාබ් ප්‍රාන්ත රජය පාකිස්තානු රුපියල් බිලියන 3.5 කට වැඩි මුදලක් වෙන් කර ඇතැයි ප්‍රකාශවී තිබුණි.


අදහස් (0)

ඉස්ලාමාබාද් සාග් ක්‍රීඩා උළෙලට සූදානමේ වෙනසක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.