Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාව ආසියානු ශූරතාවලියට

ශ්‍රී ලංකාව ආසියානු ශූරතාවලියට

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

(නාමල් පතිරගේ)

වසර අටකට පසුව මුණ ගැසුණු උස්බෙකිස්ථානය වට 3-0 කින් පරාජය කළ ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේ ජපානයේ දී පැවැත්වෙන 21 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය‍. මෙම තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේ දී අද (14 වැනිදා) පැවැත්විණ.

ආසියානු ශූරතාවලියට සුදුසුකම් තේරීමේ කඩඉම් තරගයේ දී සංචාරක උස්බෙකිස්ථාන කණ්ඩායම ලකුණු 25/23, 25/13  සහ 25/22 ක් ලෙසින් පරාජය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වට 3/0 ක් ලෙස පහසු එකක්  වුවත් තෙවැනි (අවසන්) වටයේ දී උස්බෙකිස්ථාන ක්‍රීඩකයන් වෙතින් තියුණු සටනක් ප්‍රදර්ශනය විය. එහිදී එක් අවස්ථාවක දී සංචාරක ක්‍රීඩකයෝ ලකුණු අටකින් ඉදිරියෙන් පසු වීමට ද සමත් වූහ.

අන්තර්ජාතික වොලිබෝල් පිටියේදී ශ්‍රී ලංකාවට පහළින් සිටියත් අද කොළඹ පැවැති තරගය ශ්‍රී ලංකාව යම් අවදානමක් ගෙන ආවේය.  ප්‍රතිවාදීන් වසර 2013 න් පසුව ජාත්‍යන්තර තරග බිමේ දී ශ්‍රී ලංකාව මුණ ගැසී නොතිබීමෙන් ඔවුන් පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීම තරමක් අපහසු වී තිබිණ.

අද පැවැති තරගය කඩඉම් තරගයක් වූ බැවින් උස්​බෙකිස්ථානයට පරාජය වූයේ නම් ශ්‍රී ලංකාවට ආසියානු වොලිබොල් (පිරිමි) ශූරතාවලියේ සහභාගීත්වය අහිමි වීමට ඉඩ තිබුණි. මුලින් මෙම කඩඉම් තරගය සිය රටේ දී පැවැත්වීමට උස්බෙකිස්ථානය දැඩි ලෙස උනන්දු වී සිටියේ සත්කාරයේ වාසියක් තරගයට යොදා ගැනීමේ අටියෙනි.

ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු, මේජර් ජනරාල් මහේෂ් අබේරත්න මහතා පැවසුවේ ඉතා කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමේ අභීයෝගය බාරගත් වොලිබෝල් සම්මේලනය ඊට සාර්ථකව මුහුණ දුන් බවයි.

“සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ දීප්ත රොමේෂ් ආබාධ තත්ත්වයක් හේතුවෙන් මේ තරගයට සහභාගී වුණේ නෑ. ඔහුගේත් කැමැත්ත පරිදි ජනිත් සුරත් මේ තරගයේ නායකත්වයට කැඳෙව්වා.“
“අපි පුහුණු සංචිතය ස්ථාපිත කළේ ජුලි 1 වැනිදායි. නමුත් මාස දෙකක කාලයක ඉඳලා ක්‍රීඩා සමාජ මට්ටමින් පුහුණුවීම් කරමින්  සිටි ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දැනුම්වත් වෙමින් අපි මේ තරගයට සූදානම් වුණා“ යැයි ද ඔහු පැවසීය.

නායක ජනිත් සුරන් ඇතුළු ක්‍රීඩකයන් කීප දෙනෙකු හැරෙන්නට ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් බහුතරයක් යොවුන් වියේ පසුවන්නෝ වෙති.

21වැනි ආසියානු වොලිබෝල් ශූරතාවලියට සුදුසුකම් ලබා අලුත්ම රට බවට පත් වන විට තවත් රටවල් 10ක් ඒ සඳහා ඒ වනවිට සහභාගිත්වය තහවුරු කර තිබුණි.  2019 ශූරතාව දිනු ඉරානය එහි අනුශූරතාව ලද ඕස්ට්‍රේලියාව සත්කාරක ජපානය, දකුණු කොරියාව, චින- තායිපේ, පාකිස්තානය, ඉන්දියාව, තායිලන්තය, කටාරය එසේ නිර්දේශ තහවුරු කර ගෙන සිටි රාජ්‍යයන් වෙති.

මෙම තරගයට සහභාගි වනවිට ශ්‍රී ලංකාව ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම් අනුව 53 වැනි ස්ථානයේ පසුවිය. උස්බෙකිස්ථානය ඒ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 136 වැනි ස්ථානය දක්වා ඈතක පසුවිය.

වසර 2019 ‘ටෙහෙරාන්’ නුවරදී පැවැති 20 වැනි  ආසියානු ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව අත්කර  ගත්තේ 14 වැනි ස්ථානයයි.  එහිදී ඉරානයට (3/0), කටාරය (3/0) හා ඕස්ට්‍රේලියාවට (3/0) ශ්‍රී ලංකාව මූලික වටයේදීම පරාජයට පත්විය. අනතුරුව ශ්‍රේණිගත කිරීමේ  තරග වටයේදී ඕමානය ක්වේටය කසකස්තානය හා නැවැත ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහනය කීපයක්ම වාර්තා කිරීමට  සමත් විය.

ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියක දී ශ්‍රී ලංකාවේ මෙතෙක් හොඳම දක්ෂතාව වන්නේ ඉරානයේ වසර 2011 දී පැවැති  16 වැනි ශූරතාවලියේ දී සුපිරි අට වටයට පැමිණිමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න මහතා කටයුතු කළේය. ඔහු මීට පෙරත් ජාත්‍යන්තර තරගාවලි ගණනාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අයෙකි.


අදහස් (1)

ශ්‍රී ලංකාව ආසියානු ශූරතාවලියට
  • ලකිත් ශ්‍යාමන් Thursday, 15 July 2021 11:15 PM

    ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කලේ චාර්ල්ස් තිලකරත්න මහතා නොව චන්න ජයසේකර මහතායි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.