Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් ක්‍රීඩාවේ අභිවෘද්ධියට මිලියන 44 ක්

වොලිබෝල් ක්‍රීඩාවේ අභිවෘද්ධියට මිලියන 44 ක්

editorial - 2021 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
නාමල් පතිරගේ
--------------------

ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව  නඩත්තු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 44 කට  ආසන්න මුදලක්  අනුමත කර තිබේ. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් පළමු වතාවට මෙරට ජාතික වොලිබෝල් සංචිතයන්හි පුහුණුකරුවන් සඳහා ස්ථිර මාසික ගෙවීමක් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැරසේ.

ශ්‍රී ලංකාවේ ජාතික වොලිබෝල් පුහුණු සංචිතය මෙහෙයවන දේශීය පුහුණුකරුවන් සඳහා මාසික දීමනාවක් ලැබෙන පළමු අවස්ථාව මෙයයි.

ඒ යටතේ ජාතික වොලිබෝල් සංචිතයන් පවත්වා ගෙන යාමේදී ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු හා අභ්‍යාසක යන ධුරයන් සඳහා මෙම ගෙවීම් කෙරෙනු ඇත.  වොලිබෝල් කාන්තා හා පිරිමි පුහුණු සංචිතයන්හි කල් ගෙවන පුහුණුකරුවන්ට මෙන්ම ජාතික වෙරළ වොලිබෝල් සංචිතයන්හි පුහුණුකරුවන් හා පුහුණුකාරියන්ට මෙම ගෙවීම් අනුමත කෙරේ.

ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව නඩත්තු කිරීම සඳහා ජාතික ක්‍රීඩා සභාව නිර්දේශ කළ රුපියල් මිලියන 44 කට ආසන්න වන මුදලක් මෙසේ අනුමත කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.  ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පෙරේදා (22) ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී (වොලිබෝල් පියස) සිදු කෙරුණි.

මේ යටතේ දේශීය වොලිබෝල් ක්‍රීඩාව පවත්වාගෙනයාම සඳහා රුපියල් මිලියන 27 ක්ද (රු 27,391,200 ක්) මුදලක්ද වෙරළ වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා රුපියල් මිලියන 16 ක් ක (රුපියල් 16,600,000 ක්) මුදලක්ද ජාතික ක්‍රීඩා සභාව විසින් නිර්දේශ කර තිබේ. මෙම මුදල් වැය කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කොන්දේසි කීපයක් යටතේ නියාමනය කිරීමට මහේල ජයවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පියවර ගෙන තිබේ.

මුදල් අනුමත කිරීම කොටස් වශයෙන් සිදු කෙරෙන්නේ වොලිබෝල් සම්මේලනයෙන් ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා ප්‍රගති වාර්තා පදනම් කර ගනිමිනි. ප්‍රධාන වශයෙන් වොලිබෝල් (පිරිමි) ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා අනුමත රුපියල් මිලියන 27 කට වැඩි මුදල යොදා ගැනේ.

වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ මෙම මුදල්  යොදා ගනිමින් ශ්‍රී ලංකාවේදී අයි.පී.එල් තරගාවලියේ ආකෘතියට සමාන ලංකා ලීග් වොලිබෝල් (පිරිමි) තරගාවලියක් පැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි. එහිදී තරග වදින සෑම කණ්ඩායමක්ම සඳහා විදේශීය නමගිය වොලිබොල් ක්‍රීඩකයන් දෙදනකු බැගින් ද තෝරා ගැනෙනු ඇ.ත.

මේ අතර දැන් රට තුළ උද්ගතව ඇති කොවිඩ් තෙවැනි රැල්ලේ බලපෑම් හේතුවෙන් ලබන ජුනි 1 වැනිදා වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ජාතික වොලිබෝල් පුහුණු සංචිත ආරම්භය යළිත් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

ජාතික ක්‍රීඩා සභාව දේශීය වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා මුදල් ප්‍රතිපාදන නිර්දේශ කිරීමේදී මෙරට වොලිබෝල් පිරිමි ඉසව්ව කෙරෙහි පමණක් අවධානය යොමු කර තිබේ.
එහෙත් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව සැළකීමේදී කාන්තා හා පිරිමි හා ඉසව් දෙකම කෙරෙහි සැළකිලිමත් වෙමින් මුදල් අනුමත කර තිබේ. ඒ පිළිබඳ ඒ.එස්. නාලක මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ වොලිබෝල්  කාන්තා ඉසව්ව කෙරෙහි මෙම තීරණයෙන් කිසිදු ප්‍රගතියක් සිදු නොවන බවත් වොලිබෝල් (කාන්තා) ඉසව්වේ ප්‍රවර්ධනය සඳහා වොලිබෝල් සම්මේලනය තවදුරටත් මූල්‍යාධාර සපයන බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙන වොලිබෝල් ක්‍රීඩාව සඳහා මේ වනවිට ඉහළ අනුග්‍රහයක් ලබාදීමට වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. එහි මුල් පියවර වූයේ ගාල්ල දඩල්ලේ දකුණු පලාත් ක්‍රීඩා සංකීර්ණය ලෙස ඉදිවූ ගොඩනැගිලි හා ක්‍රීඩාංගන සංකීර්ණය  මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා වසර 30 ක කාලයකට වොලිබෝල්   සම්මේලනයට පැවරීමය.  මේ යටතේ මෙරට ජාතික වොලිබොල් කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකේ ප්‍රවර්ධනය සඳහා ඉහළ කාර්ය සාධන කමිටුව සකස් කළ විශේෂ වැඩසටහන ද දායක කර ගැනේ.

ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ හා පදක්කම් දිනාගෙන නැති  ක්‍රීඩා ඉසව් පහක් කෙරෙහි විශ්වාසය තබා ගනිමින් මහේල ජයවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබේ. වොලිබෝල් හැරෙන්නට ටෙනිස්, කරාටේ, ජල ක්‍රීඩා හා ඉලක්කයට වෙඩි තැබීම  යන ක්‍රීඩා ඉසව් පහක් කෙරෙහි විශ්වාසය තබමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන් මාලාව සකස් කර තිබේ.

දේශීය වොලිබෝල් ක්‍රීඩාව නඩත්තුවට හා ගිවිසුම්ගත වෙමින්  ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාත් හා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් එහි සභාපති කංචන ජයරත්න මහතාත් ගිවිසුමේ පිටපන් හුවමාරු කරගත් අයුරු.

මෙම ගිවිසුමට වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් අත්සන් කළ එහි ලේකම් ඒ.එස්. නාලක  මහතා සහ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ යන මහත්වරුද ඡායාරූපයේ  වෙති.


අදහස් (0)

වොලිබෝල් ක්‍රීඩාවේ අභිවෘද්ධියට මිලියන 44 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.