Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඓතිහාසික තරගයකට නවසීලන්තය එයි
කි.ග්‍රෑ. 85 න් පහළ රග්බි

ඓතිහාසික තරගයකට නවසීලන්තය එයි

editorial - 2025 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායම තරග දෙකක් සඳහා අද (30 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණිමත් සමගින් රග්බි ලෝලීන්ගේ උනන්දුව උත්සන්න වෙමින් තිබේ. විශේෂයෙන්ම සති දෙකකට පෙර මැලේසියාව පරදවමින් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අත්කරගන්නා ලද ලකුණු 59-19 ක ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ උනන්දුව වර්ධනය වෙමින් පවතී. එහෙත් දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ නවසීලන්ත කණ්ඩායමක් බව ද ඔව්හු දනිති. 

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම කිලෝ ග්‍රෑම් 85 ට අඩු ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දැල්වී තිබේ. 

කි.ග්‍රෑ. 85 න් පහළ සංචාරක කණ්ඩායම නවසීලන්තයේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ 13 කින් තෝරා ගන්නා ලද ක්‍රීඩකයන්ගෙන් සමන්විතය. ඔවුන්ගෙන් 12 දෙනෙක් පසුගිය වසරේදී පැවැති නවසීලන්තයේ අන්තර් සමාජ අවසන් තරගයටත් ක්‍රීඩා කළහ. මෙය නවසීලන්තයේ කි.ග්‍රෑ. 85 න් පහළ කණ්ඩායම ලෙසින් හඳුන්වනු ලබන නමුත් එය නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන්ම සමන්විතය. 

මේ මස 4 වැනිදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදීත්, 10 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදීත් පැවැත්වෙන තරග දෙකම ශ්‍රී ලංකාවේ මෙන්ම නවසීලන්තයේත්, ලෝකයේ අනෙකුත් කලාපයන්හිදීත් සජීවී ලෙසින් විකාශය කිරීමට නියමිතය. 

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ මැද පෙළ (29) ස්ථානයක් හිමිකරගෙන සිටින නමුත් එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය මෙන්ම ලෝකයේ රග්බි ක්‍රීඩා කරන රටවල් අතරේ දීර්ඝතම ඉතිහාසයක් ඇති රටවලින් එකක් ලෙස ශ්‍රී ලංකාව ද සැලකෙයි. රග්බි ක්‍රීඩාව ආරම්භ වූයේ 1823 දී යැයි සැලකෙන අතරම ලෝකයේ මුල්ම රග්බි පාපන්දු සංගමය බිහිවූයේ 1871 දී එංගලන්තයෙනි. 

රග්බි ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ මුල්බැස ගත්තේ 1879 දී ආරම්භ කරන ලද කොළඹ පාපන්දු සමාජයෙනි. (වර්තමානයේදී කොළඹ හොකී සහ පාපන්දු සමාජය හෙවත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී.). ආසියාවේ පැරණිතම රග්බි සංගමය වන්නේ ද ශ්‍රී ලංකාවයි. ක්‍රීඩා සමාජ දෙකක් අතර පැවැති ශ්‍රී ලංකාවේ මුල්ම රග්බි තරගය ලෙස සැලකෙන්නේ 1880 දී දික්ඔය සහ දිඹුල කණ්ඩායම් අතර පැවැති තරගයකි. 

1891 වන විට ශ්‍රී ලංකාවේ පාසල් අතරත් රග්බි ක්‍රීඩාව ප්‍රචලිත වෙමින් පැවතිණ. මහනුවර ත්‍රිත්ව, කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් යන විදුහල් වල ඇත්තේ වසර සියයකට එපිට සිට එන රග්බි සම්ප්‍රදායකි. 

නවසීලන්ත 85 න් පහළ කණ්ඩායමේ නායක ජැරඩ් පර්සිවල් මෙන්ම නෙදර්ලන්ත පිලත් නියෝජනය කර ඇති ටයිලර් කොනින්ං සහ ටොම් රෝලන්ඩ් දෙදෙනාත් අන්තර්ජාතික අත්දැකීම් ඇති ක්‍රීඩකයෝ වෙති. 

නවසීලන්ත රග්බි ආයතනයේ ක්‍රීඩාව භාර ප්‍රධානියා වන මයික් හෙස්ටර් මහතා පවසන්නේ බර සීමාව අනුව කෙරෙන රග්බි ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලිය ඓතිහාසික එකක් වන බවයි. 

“වෙලින්ටන්හි පැවති අවසන් තරඟයේදී යමක් ඉතිරිව තිබුනේ නම්, මෙම සංචිතයේ සිටින ක්‍රීඩකයන් අප බලාපොරොත්තු වන සියල්ලම ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රදර්ශනය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. වේගය, කුසලතාව වගේම මිත්‍රත්වය විදහා දැක්වීමට ජාත්‍යන්තර වේදිකාවක් තිබීම කොයිතරම් අපූරුද?”

“මෙම ක්‍රීඩකයින්ට වගේම රග්බි ක්‍රීඩාවේ නවතම ආකෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහාත් මේ තියෙන්නේ අපූරු අවස්ථාවක්” යයි මයික් හෙස්ටර් මහතා පැවසීය.

නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් නගතායි වෝකර් මහතා කටයුතු කරන අතර ඔහු නවසීලන්තයේ සිටින රග්බි පුහුණුකරුවන් අතර කීර්තිමත් පුහුණුකරුවකු ලෙසින් සැලකේ. 


සංචාරක නවසීලන්ත (කි.ග්‍රෑ. 85 න් පහළ) රග්බි කණ්ඩායම
පැසියා ආසියාටා, බෙන් බිග්ගෙලාර්, රෝරි කැවානා, ලුවිස් ක්‍රේක්, ජෙන්ඩ්‍රේ ඩු ටොයිට්, ලූක් අයර්, ජොෂ් ගෙලර්ට්, ෆ්‍රේසර් හැරිසන්, ටයිලර් කොනිං,  ජැක් ලයිටි, කැලම් නිම්මෝ, රිග්ලි පැක්ස්ටන්, ජොෂ් පර්ඩන්, ටොම් රෝලන්ඩ්, සයිමන් සියා, මැට් ටී්‍රබි, කැම්බෙල් බස්බි, ටේන් කෝඩෙල් හල්, ජැක්සන් එෆ්‍රයිම්ස්, බෙන් මෙග්සන්, නෙඩ් මිල්න්, ෆ්‍රැන්සිස් මොරිසන්, ජැරඩ් පර්සිවල්, ජේමි පෙට්ෆර්ඩ්, ඇඩම් ප්‍රෙස්ටන්, ඊමන් රීලි, බෙන් ස්කොට්, පීටර් ස්වාර්ට්ස්, 
අතිරේක ක්‍රීඩකයෝ : 
ජොනෝ කිල්ස්බි, ඊතන් ජේම්ස්, විලියම් බොස්වෙල් සහ කීස් ජැන්සන්
තොරතුරු : ඕල්බ්ලැක්ස්.කොම් සහ විකීපීඩියා ඇසුරිනි


අදහස් (0)

ඓතිහාසික තරගයකට නවසීලන්තය එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.