Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 21 වැනි සියවසේ විශිෂ්ටතමයෝ

21 වැනි සියවසේ විශිෂ්ටතමයෝ

editorial - 2021 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් 21 වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා ලෙසත් ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් 21 වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා ලෙසත් තේරී පත්ව සිටිති. ස්ටාර් ස්පෝර්ට්ස් රූපවාහිනි විකාශන සමාගම විසින් සංවිධානය කරන ලද, 50 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් මගින් මෙම ක්‍රීඩකයන් දෙදෙනා 21 වැනි සියවසේ විශිෂ්ටතම පිතිකරුවා සහ පන්දු යවන්නා ලෙසින් තෝරා ගන්නා ලදි.

ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් වූ සුනිල් ගවස්කාර්, ඉයන් බිෂොප්, හර්බජාන් සිං, ෂේන් වොට්සන්, ස්කොට් ස්ටයිරිස්, ගෞතම් ගාම්භීර් ඇතුළු හිටපු ක්‍රීඩකයන්, ක්‍රීඩා මාධ්‍යවේදීන් සහ පුහුණුකරුවන්ගෙන්ද එම ජූරි සභාව සමන්විත විය. ජුනි 15 සිට 17 දක්වා කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ ඡන්ද විමසීම් පැවැත්වූ අතර ඉන්දියාවේ සුප්‍රසිද්ධ ක්‍රීඩා විකාශන ආයතනයක් වන ස්ටාර් ස්පෝර්ට්ස් සමාගම විසින් ජූරි සභාවේ සාමාජිකයෙකු වීමට රසිකයින්ටද අවස්ථාව සලසාදී තිබුණි.

මුත්තයියා මුරලිදරන්ට අමතරව 21 වැනි ශත වර්ෂයේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා තේරීම සඳහා දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන්, ඕස්ටේ්‍රලියාවේ ෂේන් වෝන් සහ ග්ලෙන් මැග්‍රාත් යන ක්‍රීඩකයන් එම නාම යෝජනා අතර සිටියහ. මෙම පන්දු යවන්නන් සිව්දෙනාම ඔවුන්ගේ රටවල් වෙනුවෙන් වාර්තා පිහිටවූ පන්දු යවන්නෝ වුහ. වැඩිම ඡන්ද ප්‍රතිශතකයක් ලබාගනිමින් මුත්තයියා මුරලිදරන් 21 වැනි ශත වර්ෂයේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වන විට ස්ටේන් දෙවන ස්ථානයත්, වෝන් සහ මැග්‍රාත් පිළිවෙලින් තෙවන හා සිව්වන ස්ථාන ලබා ගත්හ.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබා ගත් මුත්තයියා මුරලිදරන් අභිබවා යාමට මේ පන්දු යවන්නන් තිදෙනාටම නොහැකි වූහ. මේ වන විට 49 හැවිරිදි වියේ පසුවන හිටපු පිට දඟ පන්දු යවන්නා ටෙස්ට් තරග 133 කදී කඩුලු 800 ක් දවා ගත් අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 22.73 ක් ලෙද රඳවාගෙන තිබුණි.

ප්‍රවීණ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා වන ඩේල් ස්ටේන් මේ වනවිට ලැයිස්තුවේ සිටින එකම ක්‍රියාකාරී ක්‍රීඩකයා වන අතර, ටෙස්ට් පිටියෙන් විශ්‍රාම යාමට පෙර දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත්විය. ටෙස්ට් තරග 93 කදී කඩුලු 439 ක් දවාගෙන ඇති ස්ටේන් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 22.95 ක් ලෙස රඳවාගෙන ඇත. කෙසේ වෙතත්, නිතර ආබාධවලට ලක්වීම හේතුවෙන් ඔහුට ටෙස්ට් පිටිය අත්හැරීමට සිදුවිය.

ෂේන් වෝන් සහ ග්ලෙන් මැග්‍රාත් අතර කඩුලු 1200 කට වඩා බෙදා ගනිමින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඕස්ට්‍රේලියානු ආධිපත්‍යය දශකයකට වැඩි කාළයක් රඳවා තබා ගැනීමට සමත්වූහ.
ස්ටාර් ස්පෝර්ට්ස් විසින් හොඳම ටෙස්ට් පිතිකරුවා සඳහා ක්‍රීඩයන් හතර දෙනෙකු නම් කර තිබුණු අතර ඊට දකුණු අප්‍රිකාවේ ජැක් කලිස්, ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්, ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ඇතුළත් වූහ.

සචින් තෙන්ඩුල්කාර් 70.3 % වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් 21 වැනි ශත වර්ෂයේ හොඳම ටෙස්ට් පිතිකරුවා ලෙස අභිසෙස් ලැබීය. 15.3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනි ස්ථානයට පත්වූ ස්ටීවන් ස්මිත් සහ සචින් තෙන්ඩුල්කාර් අතර විශාල ඡන්ද පරතරයක් පැවතුණි.

1989 දී ටෙස්ට් වරම් හිමිකරගත් තෙන්ඩුල්කාර් ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ප්‍රධාන වාර්තා තුනකට හිමිකම් කීවේය. ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා, වැඩිම ශතක රැස්කළ පිතිකරුවා සහ වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකළ ක්‍රීඩකයා ලෙස තෙන්ඩුල්කාර් එම වාර්තා වලට හිමිකම් කීවේය.

මේ වනවිට 48 වැනි වියෙහි පසුවන තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග 200 කදී ලකුණු 15,921 ක් ලබාගෙන ඇති අතර ශතක 51 ක් ලබාගෙන ඇත. ටෙස්ට් ඉනිමකදී ඔහු වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 248 කි.

 


අදහස් (0)

21 වැනි සියවසේ විශිෂ්ටතමයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.