Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරු ලයිස්තුව සංශෝධනයට

පිතිකරු ලයිස්තුව සංශෝධනයට

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කළ යුතු බවත් ඉදිරි පෙළට වඩා මැද පෙළ පිතිහරඹය ශක්තිමත් කළ යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා කියයි. විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා, එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සිට මාධ්‍ය අමතමින් එසේ කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් වරින් වර දස්කම් දක්වන නමුත් මැද පෙළ අසාර්ථක වීමත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉනිමකදී වාර්තාවන නිලකුණු පන්දු සංඛ්‍යාව වැඩි වීමත් ශ්‍රී ලංකා පිලේ ලකුණු අහේනියට බෙහෙවින් බලපා තිබේ.



ධනංජය ද සිල්වා...

මෙවන් තත්ත්වයක් හමුවේ, පිතිකරුවන් පන්දුවට පහර දෙන ස්ථානය සම්බන්ධායෙන් පවතින ස්ථායිතාව ඉතාමත් වැදගත් බව මිකී ආතර් මහතා අවධාරණය කරයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර මුහුණ දීමට සිදුවන්නේ විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානයත් එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයත් හිමි එංගලන්ත පිලට එරෙහිව බැවිනි.

“අපේ පිතිකරු ලයිස්තුව සම්බන්ධයෙන් අපි හැකි ඉක්මනින් කිසියම් ස්ථාවරයකට යන්න ඕනෑ. අපට මේ විදිහට පිතිකරුවන් එක එක තැන්වලට රිංගවන්න බෑ. මොකද ඒකෙන් වෙන්නේ සංකූලතාවක් ඇතිවීම විතරයි” යයි පුහුණුකරුවා පැවසීය.

පිතිකරු ලයිස්තුව සම්බන්ධයෙන් පුහුණුකරුවාට නිශ්චිත සැලැස්මක් තිබේ. ඒ අනුව මෙතෙක් කලක් ඉදිරි පෙළ සිටි පිතිකරුවන් කිහිප දෙනකුට පිතිකරු ලයිස්තුවේ මැදට යාමට සිදුවනු ඇත.

“මැද පෙළට යන පිතිකරුවන් කවුද කියලා මට පැහැදිළි සැලැස්මක් තියෙනවා. ඔබ කේ.ජේ.පී. (කුසල් ජනිත් පෙරේරා), ධනුෂ්ක (ගුණතිලක) හා අවිශ්ක (ප්‍රනාන්දු) දිහා 1, 2. සහ 3 ස්ථාන ගැන බැලුවොත් ඔවුන් තුන් දෙනාම ස්ථාවරයි. ඒත් වැදගත්ම දේ වෙන්නේ 4, 5 සහ 6 ස්ථාන වල පහසුවෙන් පන්දුවට පහර දෙන්නේ කවුරුන්ද කියා අප විමසිලිමත් විය යුතු වීමයි” යයි ආතර් මහතා කීවේය.

එක්දින තරගයකදී නම් 15 වැනි ඕවරයේ සිට 45 වැනි ඕවරය දක්වාම  ලකුණු රැස්කිරීමේ වගකීම බාර වී ඇත්තේ අංක 4-5 සහ 6 ස්ථානවල පන්දුවට පහර දෙන පිතිකරුවන්ටය. එහෙත් තනි තනිව ලකුණු කරා යනවා වෙනුවට තනි ලකුණු ලබාගනිමින් පිතිකරුවන් පන්දුවට පහර දෙන අවස්ථා හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් වැඩි දුරටත් අවධානය යොමු කළ යුතු බවද පුහුණුකරුවා පැවසීය.

“බංග්ලාදේශයේදී අපි අමාරුවේ වැටුණේ මෙතැනදී තමයි”
“ඒ වෙලාවෙදි අපි ලබාගත්තේ ලකුණු 130 ක් - 135 ක් විතර. ඒත් අපි හදාගත යුතුම තැනත් මේකම තමයි. පන්දුවට පහර දීමේ අවස්ථාව හුවමාරු කරගැනීමත්, කඩුල්ලේ ඉන්න කෙනාගේ ස්වභාවයත් වැදගත් වෙන්නේ මෙතැනදි. පසුගිය පුහුණුවීම් වලදී අපි අවධානය යොමු කළේ ඒ ගැනයි” යයිද පුහුණුකරුවා පැවසීය.

ලසිත් මාලිංග කණ්ඩායමේ නැතත් සෙසු සියලුම පන්දු යවන්නන් එක්ව ඔහුගේ අඩුව පුරවා දැමිය යුතු යයිද මිකී ආතර් මහතා කීවේය.

“ලසිත් කියන්නේ මේ ක්‍රීඩාවේ පුරාවෘතයක්. ඔහු ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහු කරපු දේ කරන්න පුළුවන් කෙනෙක් අපි හදාගන්න ඕනේ...”

“දුෂී (දුෂ්මන්ත චමීර) ගැන මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අතර අපට ඉසුරු උදාන වගේම නුවන් ප්‍රදීප් දෙන්නාත් ඉන්නවා. තරුණ වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු, ෂිරාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න වගේම චාමික කරුණාරත්නත් ඉන්නවා. අපි ඔවුන්ව මෙහි ගෙනාවේ සීමිත ඕවර තරග සඳහා වේග පන්දු යැවීමේ අංශයෙන් අපි බලාපොරොත්තු වන බර හදාගන්නයි” යයිද මිකී ආතර් මහතා කීවේය.


නුවන් ප්‍රදීප් ...

එබැවින් මෙම ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් තිදෙනා හමුවේ ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවේ.

“මේ ක්‍රීඩකයන් දන්නවා දැන් තම තමන්ගේ කාර්යය මොකක්ද කියලා. දැන් තියෙන්නේ ඔවුන්ට ඒ සඳහා සහයෝගය දීමයි... අපි ඒවායින් ප්‍රතිඵල ලබාගන්නා අවස්ථාව වන විට ඔවුන් සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩකයන් වෙලා හරියන්නේ නෑ. ලෝක මට්ටමේ ක්‍රීඩකයන් වෙන්න ඕනා”

“ඒ කෝක වුණත් අපේ දඟ පන්දු යවන්නන් ගැන නම් මා සතුටු වෙනවා. ඒත් එංගලන්තයේ පවතින තත්ත්වයන් අනුව අපි  තරගයට යොදවන්නේ මොන ආකාරයේ පන්දු යවන්නන් ගැනද කියලා අපට බලන්න වෙනවා” යයිද මිකී ආතර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි-20 තරගය මේ මස 23 වැනිදා පැවැත්වේ.

 


අදහස් (0)

පිතිකරු ලයිස්තුව සංශෝධනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.