Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක ටෙස්ට් ශූරතාවලියේ ස්ථාවර ගමනක්

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ස්ථාවර ගමනක්

editorial - 2022 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ‘ටෙස්ට් ශූරතාවලිය’ තරමක් සංකීර්ණ ක්‍රමවේදයක් අනුව පැවැත්වෙන්නකි. ක්‍රමවේදය සංකීර්ණ වන නමුත් එය ගුණාත්මක බවින් ඉතාම ඉහළ තලයක පවතී.

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය ලෝ පුරා පැතිරයාමත් සමගින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මළවුන් අතරට යනු ඇතැයි අනාවැකී කී අයට පවා, ටෙස්ට් පිටිය දෙස ආපසු හැරී බලන්නටත්, තමන්ගේම වචන ගිලගැනීමටත් සිදුවූයේ පසුගිය වසරේදී ඉන්දියාව පරාජය කරමින් ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වීමෙන් පසුවය.  

නවසීලන්තය 2021 ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත්තේ එතරම්ම අලංකාර ආකාරයෙනි.  එමෙන්ම එය සුවිශේෂී තරගාවලියකි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ යා හැක්කේ තරග ජයග්‍රහණය කිරීමෙන් පමණි. ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 12 ක් හිමිවන විට තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් අත්කරගත හැක්කේ, එකකට 4 ක් බැගින්, දෙපිලටම ප්‍රසාද ලකුණු 8 කි. එහිදී ජයග්‍රහණයක් වෙනුවෙන් වැඩි අගයක් හිමිවෙයි.
 
ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී ලබාගත් ජයග්‍රහණයේ වටිනාකම වැඩිවන්නේ එවන් තත්ත්යකදීය.

මංගල ලෝක ටෙස්ට් ශූරතාවලියේදී (2019-2021) කණ්ඩායම් 9 කින් 8 වැනි ස්ථානය ලද ශ්‍රී ලංකාව (ජයග්‍රාහී ප්‍රතිශතය - 27.80) ඊළඟ තරගාවලිය ආරම්භ කළේ, පසුගිය නොවැම්බරයේදී කොදෙව් පිලට එරෙහිව පැවැති තරග දෙකම ජයගනිමිනි. ඒ සමගම, දෙසැම්බර් මස 06 වැනිදා වන විට, 100.00% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමගින්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ මුදුන් හිණිපෙත්තේ සිටි ශ්‍රී ලංකාව, පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාව හමුවේ තරග දෙකක් පරාජය වීමෙන් පසු පස්වැනි ස්ථානයට ඇද වැටුණේය. එවිට ජයග්‍රාහී ප්‍රතිශතය 50.00% ක් විය.

එවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට ගියේ ගැහෙන හදවතිනි. ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඉහළ යාමේ අදහසින් සිටි බංග්ලාදේශයේ අරමුණ වූයේද ශ්‍රී ලංකාව පරාජය කිරීමයි. ඒ වෙනුවෙන් ඔව්හු සකිබ් අල් හසන්වද සංචිතයට කැඳවූහ.

තරගාවලිය බංග්ලාදේශයේ පැවැතීමත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර දෙදෙනාම තුවාලකරුවන්ගේ ලයිස්තුවේ සිටීමත් ශ්‍රී ලංකා නායකයාගේ හිත සසළ කළ කාරණා විය. මෙම හේතු කාරණා අනුව බංග්ලාදේශයේදී කඩුලු දවාගැනීමේ වගකීම දඟ පන්දු යවන්නන් තිදෙනා මත පැටවිණ.

දඟ පන්දු යවන්නන් තිදෙනාම අසාර්ථක වෙද්දී, එක රැයින් පිපුණ සියපත් මෙන්, දෙවැනි තරගයේදී කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු දෙදෙනා කළ පන්දු යැවීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. විශේෂයෙන්ම පළමු තරගයේදී කම්පනය නිසා ඉවතට ගිය විශ්ව ප්‍රනාන්දු වෙනුවෙන් පැමිණි ආදේශකයා වූ කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක් කළේය.

තරගාවලිය පුරාම, කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයන් වන ඇන්ජලෝ මැතිව්ස් (344) සහ දිනේෂ් චන්දිමාල් (229) සහ දිමුත් කරුණාරත්න (148) තිදෙනා පිත්තෙන් දැක්වූ දායකත්වයද මෙම ජයග්‍රහණයේ තීරණාත්මක සාධක විය. ඉනිම තුනකදී චන්දිමාල් ලබාගත් ලකුණු 229 ට, ඔහු වසර 4 කට පසුව ලබාගත් ශතකයද ඇතුළත් වූයේය.

මීර්පූර් තරගයේදී බංග්ලාදේශයේ කඩුලු 5 ක් ලකුණු 24 කට බිඳ වැටීමෙන් පසු, බොහෝ දෙනාගේ අපේක්‍ෂාව වූවේ තරගය දින 3 කින් හෝ 4 කින් අවසන් වනු ඇති බවයි. එහෙත් මුෂ්ෆිකුර් රහීම් සහ ලිටන් දාස් දෙදෙනා එක්ව, 6 වැනි කඩුල්ල වෙනුවෙන්, ගොඩනැංවූ ලකුණු 252 ක සම්බන්ධතාව නිසා තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම සත්කාරක පිල වෙත ඇදී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 145), ධනජය ද සිල්වා (58) සහ දිනේෂ් චන්දිමාල් (124) එක්ව නැවත වරක් තමන් වෙත ඇදගත් තරගයේ වාසිය, ශ්‍රී ලංකා කණ්ඩායමට තබා බැඳගත්තේ බංග්ලාදේශ දෙවැනි ඉනිමේදීත් ලකුණු 53 කට කඩුලු 5 ක් බිම දැමූ කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු විසිනි. අවසන් දිනයේ දිවා ආහාරයෙන් පසුව එය සම්පූර්ණයෙන්ම අසිත ප්‍රනාන්දුගේ තරගයක් විය.

වසර 40 ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයකදී කඩුලු 10 ක් දවාගත් දෙවැනි වේග පන්දු යවන්නා බවට අසිත ප්‍රනාන්දු පත්විය. මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් වැනි දඟ පන්දු යවන්නන් තරග කිහිපයකදීම කඩුලු 10 ක් බැගින් දවාගෙන ඇතත්, ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නකු වශයෙන් මීට පෙර (දෙවතාවක්ම) එම දස්කම කර තිබුණේ අද්වීතීය චමින්ද වාස් පමණි.

අංක 4 පිතිකරුවා ලෙසින් ඇන්ජලෝ මැතිව්ස්, සෙමින් නමුත් ස්ථාවර පිතිහරඹයක නිරත වූයේය.  තමන්ගේ නමට ඉදිරියෙන් එකතුකර ගන්නා ලකුණු සංඛ්‍යාවට වඩා, නිරන්තරයෙන්ම කඩුලු අතර සම්බන්ධතා ගොඩනඟමින් ලකුණු පුවරුව තර කළ මැතිව්ස් තරග දෙකකදී ශතක සම්බන්ධතා 3 කට දායක විය. එපමණක් නොව, සෙසු පිතිකරුවන්ටත් මඟ පෙන්වන්නා වෙමින් වැඩි වැඩියෙන් ලකුණු සම්බන්ධතා සොයා යන්නට විය. එහි සාර්ථක ප්‍රතිඵල ඔහුට පමණක් නොව කණ්ඩායමටද ඉහළින්ම ලැබුණේය.  

මැතිව්ස් නැංගුරමක්ව සිටියදී, චන්දිමාල්ගේ පිතිහරඹය සම්පූර්ණයෙන්ම වෙනස් තලයක තිබිණ.
ක්‍රිකට් පොතේ සියලුම අලංකාර පහර මැනවින් ප්‍රදර්ශනය කළ දකුණත් පිතිකරුවා, ඩ්‍රයිව්, කට්, සහ පුල් පහර මෙන්ම ස්වීප් පහරත් මනස්කාන්ත ලෙසින් යොදාගත්තා පමණක් නොව, අවශ්‍ය අවස්ථාවලදී තම සීමා ඉරෙන් ඉවතට ඇදී ක්‍රීඩකයන්ගේ හිසට ඉහළින්, පන්දුව හතරේ සීමාවටත් යැවීමට තරම් නිර්භීත වූයේය.

දිනේෂ් චන්දිමාල් මේ ආකාරයෙන් පන්දුවට පහර දෙන්නේ නම්, එහි පීඩනය එල්ල වන්නේ අනෙකෙකු වෙත නොව හිතුවක්කාර කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල වෙතය. මේ දක්වා ටෙස්ට් තරග 49 කට සහභාගි වී ඇතත් (සාමාන්‍යය 32.52), දික්වැල්ලගේ නමට ඉදිරියෙන් සටහන් වූ ටෙස්ට් ශතකයක් නම් නැත. ඉදින් චන්දිමාල්ට නැවත වරක් කඩුලු රැකීමේ අත් ආවරණ බාරදී, වඩාත් ස්ථාවර පිතිකරුවකු ලයිස්තුවට එකතු කිරීම තේරීම් කමිටුවට බැරි දෙයක් ද නොවේ.

ටෙස්ට් පිතිකරුවකු වීමට නම්, දික්වැල්ල මීට වඩා හික්මීමත්, තැන්පත් කමත් ප්‍රදර්ශනය කළ යුතුව තිබේ.

බංග්ලාදේශයේදී ලබාගත් 1-0 ක තරගාවලි ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ටෙස්ට් ලෝක ශූරතාවලයේ සිව්වැනි ස්ථානයට පිවිසියේ ජයග්‍රාහී ප්‍රතිශතය 55.56්‍ර ක් වූ බැවිනි.

ඉදිරියේ එන ටෙස්ට් තරගාවලි දෙකම, ඕස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බැවින් ඉහළට යාමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඇතත් පරාජය නොවී සිටීමට පරෙස්සම් විය යුතුය. මක්දිනිසාද යත් අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඕස්ට්‍රේලියාව (1) මෙන්ම පාකිස්තානයද (5) ශ්‍රී ලංකාවට (7) වඩා ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙකක් වන බැවිනි.


අදහස් (0)

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ස්ථාවර ගමනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.