Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සල්ලි මලු හෙළවෙන අයි.පී.එල්. කෙළිබිම

සල්ලි මලු හෙළවෙන අයි.පී.එල්. කෙළිබිම

editorial - 2022 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ ධනවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වැනි අදියර හෙට (26 වැනිදා) ආරම්භ වෙයි.

එහි සමාරම්භක තරගයේදී ඉකුත් වසරේ (2021) ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය වසරේ අනු ශූරයන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම, මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණය්දී තරග වදී.

ඉතිහාසයේ පළමු වරට කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් මෙවර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වේ. කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගාවලිය නගර 2 කට සීමා කර ඇති අතර ඒ අනුව තරගාවලියේ මූලික වටයේ තරග 70 ම මුම්බායි සහ පූනේහිදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


මුම්බායි ඉන්දියන්ස්
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරියෙන්ම සිටී. මේ දක්වා ශූරතා 5 ක් (2013, 2015, 2017, 2019 සහ 2020) දිනා ඇති මුමබායි ඉන්දියන්ස් කණ්ඩායම, 2010 වසරේදී අනු ශූරයන් බවට පත් විය.

නායක රෝහිත් ෂර්මා, කඩුලු රකින ක්‍රීඩක ඉෂාන් කිෂන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා මුම්බායි කණ්ඩායම සතු ප්‍රබලතම දේශීය ක්‍රීඩකයන් වන අතර කිරන් පොලාඩ් (කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයා), ෆේබියන් ඇලන් (කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයා) සහ ජොෆ්රා ආචර් (එංගලන්ත වේග පන්දු යවන්නා) ඔවුන් සතුව සිටින ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකිය.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ඉෂාන්, මුම්බායි පිලේ ආරම්භක පිතිකරුවා වීමටද සූදානමින් සිටී. මුම්බායි හිමිකරුවන් ඔහු වෙනුවෙන් වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2 කි.

2022 අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක තිබියදීත් ඇමරිකානු ඩොලර් මිලියන 1.06 ක මුදලකට ජොෆ්රා ආචර් මිලදී ගැනීමටද මුම්බායි හිමිකරුවෝ ඉදිරිපත් වූහ. මුම්බායි ඉන්දියන් කණ්ඩායම් දිනාගත් ශූරතා 5 න් 3 ක්ම දිනාගත්තේ මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේය.


චෙන්නායි සුපර් කිංග්ස්
මේ දක්වා ශූරතා 4 ක් (2010, 2011, 2018 සහ 2021) දිනා, අනු ශූරතා 5 ක්ද (2008, 2012, 2013, 2015 සහ 2019) හිමිකර ගෙන සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගි වන තවත් ප්‍රබල කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය.

මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග එම වගකීම තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජදේජාට හිමිව තිබේ. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලකට (ඇමරිකානු ඩොලර් මිලියන 1.85 කට) අළෙවි වූ ක්‍රීඩකයා වන වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චාහර් චෙන්නායි කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවකි. මොයින් අලී (එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා), ඩ්වේන් බ්‍රාවෝ (කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයා) සහ ඩෙවොන් කොන්වේ (නවසීලන්ත පිතිකරු) වැනි ප්‍රබල විදෙස් ක්‍රීකයෝද චෙන්නායි කණ්ඩායම සතුව සිටිති.


දිල්ලි කැපිටල්ස්
2020 වසරේ අනු ශූරතාව හිමිකරගෙන ඇති දිල්ලි කැපිටල්ස් කණ්ඩායම රිෂාබ් පාන්ට්ගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියට සහභාගි වේ. චයිනමන් දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් සහ යොවුන් පිතිකරු යාෂ් ධූල් දිල්ලි කණ්ඩායම සතුව සිටින ප්‍රබල දේශීය ක්‍රීඩකයෝ වෙති.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව කරා ඉන්දීය යොවුන් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද යාෂ් ධූල් විසිනි. ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියානු පිතිකරු), ලුංගි න්ගිඩි (දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා) සහ මුස්තෆිසුර් රෙහෙමාන් (බංග්ලාදේශ වේග පන්දු යවන්නා) දිල්ලි කණ්ඩායමට ඇතුළත්ව සිටින ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකිය.


ලක්නව් සුපර් ජයන්ට්ස්
ඉන්දීයාවේ ධනවත් ව්‍යාපාරිකයකු වන සංජීව් ගොයෙන්කා මහතා ප්‍රධාන ආර්.පී.එස්.ජී. සමූහ ව්‍යාපාරය හිමිකාරීත්වය දරන නව කණ්ඩායමක් වන ලක්නව් සුපර් ජයන්ට්ස් ලෝකේෂ් රාහුල්ගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියට එක්වනු ඇත. මූලික ලන්සුව ඇමරිකානු ඩොලර් 26,500 ක්ව තිබියදී ඇමරිකානු ඩොලර් මිලියන 1.32 කට මිලදී ගත් වේග පන්දු යවන ක්‍රීඩක අවේෂ් ඛාන් ලක්නව් කණ්ඩායම සතු ප්‍රබල තුරුම්පුවකි.

ක්වින්ටින් ඩි’කොක් (දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා), ජේසන් හෝල්ඩර් (කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයා) සහ මාකස් ස්ටොයිනිස් (ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා) ලක්නව් කණ්ඩායම සතු ප්‍රබල විදෙස් ක්‍රීඩකයෝ වෙති.


ගුජරාට් ලයන්ස්
සී.වී.සී. කැපිටල් සමාගම හිමිකාරීත්වය දරන නව කණ්ඩායමක් වන ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යාට හිමිව තිබේ. ශුබ්මන් ගිල් (පිතිකරු) සහ මොහොමඩ් සාමි (වේග පන්දු යවන්නා) ඔවුන් සතුව සිටින ප්‍රබල දේශීය ක්‍රීඩකයන් ලෙසද, ලොකී ෆර්ගියුසන් (නවසීලන්ත වේග පන්දු යවන්නා), රෂීඩ් ඛාන් (ඇෆ්ඝනිස්තානු පා දඟ පන්දු යවන්නා) සහ මැතිව් වේඩ් (ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා) ගුජරාට් ලයන්ස් පිලේ ප්‍රබල විදෙස් ක්‍රීඩකයෝ වෙති.


පන්ජාබ් කිංග්ස්
කණ්ඩායමේ නම කිංග්ස් ෂඞ පන්ජාබ් ලෙස පැවැති කාල වකවානුව තුළ එක් වරක් (2014) අනු ශූරයන් බවට පත්ව ඇති පන්ජාබ් කණ්ඩායම මෙවර පන්ජාබ් කිංග්ස් ලෙසින් තරග වදියි. මයන්ක් අගර්වාල් කණ්ඩායමේ නායකත්වය දරන අතර ශිකර් ධවාන් සහ ශාරුක් ඛාන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සතුව සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෝ වෙති. මූලික ලංසුව ඇමරිකානු ඩොලර් 53,000 ක්ව තිබූ ශාරුක් ඛාන් ඇමරිකානු ඩොලර් මිලියන 1.19 කට මිලදී ගැනීමට පන්ජාබ් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1.52 කට අළෙවි වූ විදෙස් ක්‍රීඩකයා වන එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ලයෑම් ලිවිංග්ස්ටන් පන්ජාබ් කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත්ව සිටියි. එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ සහ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා පන්ජාබ් කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ප්‍රබල විදෙස් ක්‍රීඩකයෝ වෙති.


රාජස්ථාන් රෝයල්ස්
මෑතකදී දිවියෙන් සමුගත් ෂේන් වෝන්ගේ නායකත්වය යටතේ 2008 වසරේ පැවැති සමාරම්භක අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර සංජු සැම්සන්ගේ නායකත්වය යටතේ තරගාවලියට එක්ව සිටියි. කුමර් සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ලසිත් මාලිංග එහි වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙසත් කටයුතු කරති.

අත්දැකීම් බහුල පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් රාජස්ථාන් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරති. ජොස් බට්ලර් (එංගලන්ත කඩුලු රකින්නා), නේදන් කූල්ටර්නයිල් (ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා) සහ ශිම්රන් හැට්මෙයර් (කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයා) රාජස්ථාන් කණ්ඩායම සතුව සිටින ප්‍රබල තුරුම්පු වෙති.


කොල්කටා නයිට්රයිඩර්ස්
බොලිවුඩ් නළු ශාරුඛ් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ගෞතම් ගම්භීර්ගේ නායකත්වය යටතේ 2012 සහ 2014 වසර දෙකේදී ශූරතාව දිනා තිබේ. 2021 වසරේදී අනු ශූරයන් බවට පත්විය.

මෙවර ශ්‍රෙයාස් අයියර් විසින් කොල්කටා කණ්ඩායම මෙහෙයවනු ලබන අතර වෙන්කටේෂ් අයියර් (පිතිකරු) සහ වරුන් චක්‍රවර්ති (පා දඟ පන්දු යවන්නා) ඔවුන් සතුව සිටින ප්‍රබල දේශීය ක්‍රීඩකයන් ලෙසද, පැට් කමින්ට්ස් (ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා), සෑම් බිලිංග්ස් (එංගලන්ත කඩුලු රකින්නා) සහ සුනිල් නරේන් (කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයා) ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් ලෙසද හැඳින්විය හැකිය.


සන්රයිසස් හයිද්‍රාබාද්
ඩේවිඩ් වෝනර්ගේ නායකත්වය යටතේ 2016 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් මෙවර නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ගේ නායකත්වය යටතේ තරග වදියි. බුවනේෂ්වර් කුමාර් (වේග පන්දු යවන්නා) සහ උම්රාන් මලික් (වේග පන්දු යවන්නා) යන දේශීය ක්‍රීඩකයෝද, මාර්කෝ ජැන්සන් (දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා) සහ රොමාරියෝ ෂෙපර්ඩ් (කොදෙව් වේග පන්දු යවන්නා) යන විදෙස් ක්‍රීඩකයෝද හයිද්‍රාබාද් කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය සවිමත් කරති. ඔවුන්ගේ ප්‍රබලම දඟ පන්දු යවන්නා වන්නේ ඉන්දීය ක්‍රීඩක වොෂිංටන් සුන්දර්ය.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්
අවස්ථා 3 කදී (2009, 2011 2016) අයි.පී.එල්. තරගාවලියේ අනු ශූරයන් බවට පත්ව ඇති රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමද මෙවර නව නායකයකු යටතේ තරග වදියි. ඉකුත් වසර දක්වා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆෆ් ඩුප්ලෙසි මෙවර තරගාවලියේදී බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය දරයි.

හිටපු නායක විරාට් කෝලි සහ ග්ලේන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියානු පිතිකරු) බැංගලෝර් කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවෝ දෙදෙනා වෙති. මොහොමඩ් සිරාජ් (වේග පන්දු යවන්නා) සහ හර්ෂාල් පටේල් (වේග පන්දු යවන්නා) ඔවුන්ගේ වේග පන්දු බල ඇණියටද, වනිඳු හසරංග (ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක) ඔවුන්ගේ දඟ පන්දු බල ඇණියටද නායකත්වය දෙති.


සැකසුම - ශානුක අරවින්ද

 


අදහස් (0)

සල්ලි මලු හෙළවෙන අයි.පී.එල්. කෙළිබිම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.