Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික ක්‍රීඩා සභාවට කන රත්වෙන්න ලියුමක්

ජාතික ක්‍රීඩා සභාවට කන රත්වෙන්න ලියුමක්

editorial - 2021 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයාගේ ‘සැර’ ලිපියෙන් පසුව සිය තීරණය වෙනස් කර ඇති ජාතික ක්‍රීඩා සභාව නෝර්වේ රාජ්‍යයේ ‘ඔස්ලෝ’ නුවරදී පැවැත්වෙන ලෝක මල්ලවපොර ශූරතා තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමට සිය අනුමැතිය ලබාදී තිබේ.

ලෝක ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ  ඔක්තෝබර් 2 වැනිදා සිට 10 වැනිදා දක්වාය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් ඊට සහභාගිවීම සඳහා මෙම 30 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටියේය.

ජාතික කණ්ඩායමක් ජාත්‍යන්තර තරගයක් හෝ තරගාවලියක් සඳහා රටින් පිටවීමේදී ක්‍රීඩා ඇමතිවරයාගේ අවසන් අනුමැතිය ලබා ගත යුතු බවට ක්‍රීඩා නීතියේ ඉතාමත්ම පැහැදිළිව සටහන් වන්නකි. එහෙත් වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා එම ධුරයට පත්වීමෙන් පසුව හඳුන්වා දුන් නව ක්‍රමවේදයට අනුව ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට පෙර ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශය ලබා ගැනීම අනිවාර්ය වේ.

එම නව ක්‍රමවේදය හේතුවෙන් විදෙස් ක්‍රීඩා තරග සංචාර පාලනය කිරීමට හා සීමා පැනවීමට ජාතික ක්‍රීඩා සභාවට බලය හිමිව තිබේ.  

මතභේදයට තුඩුදුන් මෙම ලෝක ශූරතා මල්ලවපොර ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා අනුමැතිය දීම ජාතික ක්‍රීඩා සභාව ප්‍රතික්ෂේප කර ඇත්තේ තේරීම් අවධිමත් බවට චෝදනා කරමිනි.

ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා (14) ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතාට ලිපියක් යොමු කර ඇති මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා රට කොවිඩ් වසංගතයකින් වෙළී තිබෙන තත්ත්වයක් තුළ බාධාවන් හා කරදර රැසක් මැද සුදුසුකම් ලබාගත් ලෝක ශූරතා  සංචාරය අඩාල කිරීමට ජාතික ක්‍රීඩා සභාව නොදැනුවත්ව හෝ කටයුතු කිරීමට දරන උත්සාහය ගැන කණගාටුවට පත්වන බවයි. ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම නිර්දේශ කරගත් ආකාරය එම ලිපියෙන් පියවර  ගෙන  තිබේ.

ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ පැවති 2019 සාෆ් ක්‍රීඩා උළෙල 2019 ජාතික ශූරතාවලියේ, ජයග්‍රහණ සහ පදක්කම් සැළකිල්ලට ගත් අතර වෙනත් ජාත්‍යන්තර තරග සහභාගිත්වය සඳහා ද ප්‍රසාද ලකුණු ප්‍රදානය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට තේරීම් කමිටුවට සිදුවූ  බවයි. එම ලිපියේ පිටපත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ, අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් වෙතද යොමු කර තිබේ.

සභාපතිවරයාගේ මෙම සැර ලිපිය නිකුත් වීමෙන් පසුව අද (15) දිනයේදී සිය නිර්දේශය මෙම ලෝක ශූරතා තරග සංචාරය සඳහා ලබාදීමට ජාතික ක්‍රීඩා සභාව කටයුතු කර තිබේ.

සංචාරයට අනුමැතිය දුන් බවට වන නිර්දේශය මල්ලවපොර සම්මේලනයේ ලේකම් අජන්ත රත්නායක මහතා වෙත අද පස්වරුවේදී ජාතික ක්‍රීඩා සභාවෙන් නිකුත් කර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයන් මැද ලොව පුරා ජාත්‍යන්තර තරග සංවිධානය අවම මට්ටමකට පැමිණ තිබියදීත්, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය පසුගිය වසරක කාලය තුළදී මූල්‍යමය අගහිඟ මැද වුවද ජාත්‍යන්තර තරගාවලි කීපයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි කිරීමට සමත්ව තිබේ.

 


අදහස් (0)

ජාතික ක්‍රීඩා සභාවට කන රත්වෙන්න ලියුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.