Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝනර් නායකයාගේ අනාවැකිය තහවුරු කරයි

වෝනර් නායකයාගේ අනාවැකිය තහවුරු කරයි

editorial - 2021 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද ඩුබායි සිට...)

තරගාවලිය ආරම්භ වීමට පෙර ලකුණු අතර නොසිටියත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කෙරෙහි තමන් සහ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා දිගින් දිගටම විශ්වාසය තැබූ බව ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් ‍පැවසීය. අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන වෝනර්ගේ සාර්ථකත්වය ඕස්ට්‍රේලියාවට ලෝක කුසලානය දිනාගැනීම සඳහා ප්‍රබල සාධයක් වූ බවද තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ෆින්ච් සඳහන් කළේය.

“ඇත්තම කියනවා නම් මම මාස කිහිපයකට කළින් අපේ පුහුණුකරුට (ලැන්ගර් මහතාට) දුරකථනයෙන් අමතලා කිව්වා, ඩේවි (ඩේවිඩ් වෝනර්) ගැන එච්චර වද වෙන්න එපා එයා තරගාවලි‍‍යේ වීරයා වෙලා පෙන්නාවි කියලා. ඒත් මම පෞද්ගලිකව හිතුවේ ඇඩම් සම්පා තරගාවලියේ වීරයා වේවි කියලා. ඔවුන් දෙදෙනාම ඉතාම දක්ෂ සටන්කාමී ක්‍රීඩකයන්. ඒ බව ඔවුන් තරගාවලිය පුරාම පෙන්නුවා.” යැයි ෆින්ච් පැවසීය.

ඩේවිඩ් වෝනර් තරගාවලිය අවසන් කළේ තරග 7 කදී, අර්ධ ශතක 3 ක් ද සමගින් ලකුණු 289 ක් ලබාගනිමිනි. තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර බාබර් අසාම්ට (303) පමණක් දෙවැනි වූ වෝනර්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 48.16 කි. ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය පන්දු 100 කදී ලකුණු 146 කි.

අතිශය වාසනාවන්ත ‍නායකයකු ලෙස හැදින් විය හැකි ෆින්ච් ලෝක කුසලාන තරගාවලියේ පමණක් නොව අවසන් වරට සහභාගි වූ විස්සයි-20 තරග 22 න් 18 කදීම කාසියේ වාසිය දිනාගැනීමට සමත්ව ඇත. ඔහුගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයගනු ලැබුවේ ශ්‍රේණිගතකිරීම්හි 6 වැනි ස්ථානයේ සිටය. ඒ අනුව ඕස්ට්‍රේලියාවට විස්සයි-20 ලෝක කුසලානයක් දිනාදුන් පළමු නායකයා බවට පත්වීමටද ෆින්ච් සමත් විය.

මෙවර විස්සයි-20 ලෝක කුසලානය ජයගැනීම සඳහා පැමිණි ගමන් මාවතේදී තම කණ්ඩායමට කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකයක් වූ බව ද ඒරන් ෆින්ච් පවසයි.

 “ඇත්තටම මේ තරගාවලිය පුරා කාසියේ වාසිය විශාල කාර්යයක් කළා. සමහර අවස්ථාවල මම ටිකක් බය වුණා කාසියේ වාසිය පැරදිලා අපිට පළමුවෙන් පන්දුවට පහරදෙන්න වෙයි කියලා. ඒත් වාසනාවකට වගේ එක පාරක් ඇරෙන්න අනිත් හැම අවස්ථාවකම කාසියේ වාසිය දිනාගන්න මට පුළුවන් වුණා.” යැයි ක්‍රීඩා කළ තරග 7 න් 6 කදීම කාසියේ වාසිය දිනූ ෆින්ච් පැවසීය.

සුපිරි 12 දෙනාගේ වටයේදී තරග‍ 5 කට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානුවෝ ඉන් තරගය 4 ක්ම ජයගත්තේ කාසියේ වාසිය දිනා දෙවනුව පන්දුවට පහරදෙමිනි. එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී කාසියේ වාසිය පරාජය වීම නිසා ඕස්ට්‍රේලියාවට පළමුවෙන් පන්දුවට පහරදීමට සිදුවූ අතර එම තරගයෙන් ඔවුහු කඩුලු 8 ක් පරාජයක් ලැබූහ. එහෙත් කාසියේ වාසිය දිනා දෙවනුව පන්දුවට පහර‍ දෙමින් අවසන් පූර්ව තරගය මෙන්ම අවසන් මහ තරගයද ජයගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.  

 “අවසන් තරගයේදී පින්න ඇද හැළීම ටිකක් වැඩි වුණා. අපි තරගාවලිය පුරා ඒ තරම් පින්නක් දැක්කෙ නෑ. ඒ නිසා තමයි මුල් ඕවර 10 තුළදී නවසීලන්තය ලකුණු 57 කට සීමා කරපු අපිට අවසන් ඕවර 10 ඔවුන්ට වැඩි ලකුණු ප්‍රමාණයක් දෙන්න වුණේ. අපි පන්දුවට පහරදෙන විටත් පින්නෙ වාසිය අපේ පැත්තටයි තිබුණෙ. එයාලගෙ (නවසීලන්ත) පන්දු යවන්නන්ට පින්න නිසා සුපුරුදු දස්කම් අතරට එන්න බැරි වුණා.” යැයිද ෆින්ච් කියා සිටියේය.

මෙම ජයග්‍රහණයත් සමග එක්දින ලෝක කුසලාන, ශූරයන්ගේ කුසලාන සහ විස්සයි-20 ලෝක කුසලාන යන තරගාවලි‍ තුනේදීම එකම ප්‍රතිවාදීන් පරාජය කරමින් ශූරතා දිනාගත් කණ්ඩායමක් බවට පත්වීමට ඕස්ට්‍රේලියාවට හැකිවිය. මෙවර විස්සයි-20 ලෝක කුසලාන අවසන් තරගයට පෙර 2015 ‍එක්දින ලෝක කුසලාන තරගාවලියේ සහ 2009 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගවලදීද ඕස්ට්‍රේලියාව හමුවේ නවසීලන්තය පරාජයට පත්වී තිබිණ.

මෙම ජයත් සමග තවත් වාර්තාවකට හිමිකම් කීමට ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් සහ ජොෂ් හෙසල්වුඩ් සමත් වූහ. ඒ වයස 19 න් පහළ, එක්දින සහ විස්සයි-20 ‍යන ලෝක කුසලාන තරගාවලි තුනේම ශූරතා දිනාගත් කණ්ඩායම්වල සාමාජිකයන් බවට පත්වෙමිනි. පිළිවෙලින් 2010, 2015 සහ 2021 යන වසරවලදී ‍වයස 19 න් පහළ, එක්දින සහ විස්සයි-20 ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වලට ඔවුන් දෙදෙනාම ඇතුළත් වූහ.


අදහස් (0)

වෝනර් නායකයාගේ අනාවැකිය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.