Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් පන්දුවේදී නවසීලන්තය ජයගනී
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

අවසන් පන්දුවේදී නවසීලන්තය ජයගනී

editorial - 2023 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගයේ අන්තිම පන්දුව දක්වාම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තියුණු සටනක් කළ නමුත් ශතකයක් ලබාගත් කේන් විලියම්සන් කඩුලු 2 ක තියුණු ජයක් කරා නවසීලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය. වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු යැවූ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට විලියම්සන් ගැසූ පුල් පහර වැරදී ගියේය. එහෙත් පන්දුව කඩුලු රකින්නා වෙත ඇදී යද්දී ලකුණක් කරා දිවගිය හිටපු නායකයා, එම ලකුණ සම්පූර්ණ කළ බැවින් තරගයේ ජය නවසීලන්තයට හිමිවිය.

ලකුණු 300 ඉනිම තුනකින් පසුව, ක්‍රයිස්ට්චර්හි හැග්ලි ඕවල් පිටියේදී අවසන් වරට පන්දුවට පහර දුන් කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ද නවසීලන්තය අද ලබාගත් ලකුණු 285 යි. අවසන් දිනයේ අවසන් පන්දුව දක්වා දෙපිලේම ඇහිබැම ඉහළට එසවී තිබූ මෙම තරගය, නවසීලන්තයට පමණක් නොව, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේත් තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

නවසීලන්තය ලබාගත් මෙම ජයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිළිහී ගියේය. දැන් එම අවස්ථාව ඕස්ට්‍රේලියානු සහ ඉන්දිය කණ්ඩායම් වෙත හිමිවී තිබේ.

තරගයේ අවසන් දිනය වූ අද (13 වැනිදා) දිනයේ නවසීලන්ත ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 257 ක් පමණි. උදෑසන සිටම පැවැති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කරන විට බොහෝ ප්‍රමාද විය. එහෙත් ඉතිරි ඕවර 53 දී ඉලක්කය කරා ගිය නවසීලන්ත පිතිකරුවෝ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තියුණුතම ජයක් අත්කර ගත්හ.

විලියම්සන් ලකුණු 33 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙතින් ගිළිහී ගියේය. එය පහසු උඩපන්දුවක් යයි කිව නොහැකි නමුත් මෙවැනි තීරණාත්මක තරග ජයගැනීමට නම් එවන් උඩපන්දු රැකගැනීම කඩුලු රකින්නන්ගේ කාරියකි. යම් හෙයකින් එම උඩපන්දුව රැකගත්තා නම් ලකුණු 89 දීම විලියම්සන් ආපසු ක්‍රීඩාගාරයට යැවීමට ළහිරු කුමාරට අවස්ථාව තිබිණ.

එතැන් සිට පසුපස නොබැලූ හිටපු නායකයා, හැකි සෑම අවස්ථාවකදීම ලකුණු සොයා යමින්, නොදැවී ලකුණු 121 ක් ලබාගත්තේ හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ද සිය ඉනිමට ඇතුළත් කරමිනි.

අවසන් ඕවර 10 දී කඩුලු රකින්නා සහ පන්දු යවන්නා හැර අන් සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතරේ පහර වැළැක්වීමේ උත්සාහයක නිරත වූ නමුත් විලියම්සන්ට එය ප්‍රශ්නයක් නොවීය. තරගය නිමා වන විට රාත්‍රී 7.45 පමණ වූ අතර අවසන් ඕවර කිහිපයේදී විදුලි ආලෝකය ක්‍රියාත්මක කිරීමටත් හැග්ලි ඕවල් පිටියේ බලධාරීහු ක්‍රියා කළහ.

වර්ෂාව හේතුවෙන් තේ පානයට පෙර කාලය සම්පූර්ණයෙන්ම අහිමි විය. එහෙත් තරගය ආරම්භ කරන විට විනිසුරුවරුන් කියා සිටියේ අවම වශයෙන් ඕවර 53 ක් යැවිය යුතු බවයි.
ඒ අනුව නවසීලන්ත පිතිකරුවන්ගෙන් අපේක්‍ෂා කළ වේගය ඕවරයකදී ලකුණු 4.85 ක් විය.
 
කඩුලු 3 කට ලකුණු 90 ක් වන තුරු ස්ථාවර ගමනක යෙදුණු විලියම්සන් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා, එතැන් සිට ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළහ. දෙදෙනා, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 26 කින් ලකුණු 142 ක් එක්කළ අතර විලියම්සන් සිය 27 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. මුල් ඉනිමේදීත් අගනා ශතකයක් ලබාගත් ඩැරිල් මිචෙල් දෙවැනි ඉනිමේදී ලබාගත් 81 ක් සමගින් සටනකින් තොරවම තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.

තරමක් ප්‍රමාද වී ටෙස්ට් පිටියට පිවිසි නමුත් මේ වන විට 31 හැවිරිදි ඩැරිල් මිචෙල්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 59.04 කි. ඔහු ක්‍රීඩා කර ඇති ටෙස්ට් ඉනිම සංඛ්‍යාව 26 කි.
මෙම ක්‍රීඩාංගණයේදී සිව්වැනි වර පන්දුවට පහර දුන් කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 8 ට 256 කි. එය වසර 2018 දී, නවසීලන්ත කණ්ඩායම විසින් එංගලන්තය හමුවේ ලබාගත් නමුත් එදා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එහෙත් අද තරගයේදී හැග්ලි ඕවල් පිටියේ නව වාර්තාවක් පිහිටුවනු ලැබූ අතර තරගය ජයග්‍රහණයෙකින් නිමා විය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන සිකුරාදා (17 වැනිදා) වෙලිංටන් නුවරදී ආරම්භ වෙයි.

- 213


අදහස් (0)

අවසන් පන්දුවේදී නවසීලන්තය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.