Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අනුචිත සීමාව සොයන්න කැමරා 12 ක්
කටාර් - 2022

අනුචිත සීමාව සොයන්න කැමරා 12 ක්

editorial - 2022 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ද ස්පෝට්ස්ටාර් ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

මේ වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පාපන්දු තරගවලදී කිසියම් ක්‍රීඩකයකු අනුචිත සීමාවේ (Off Side) රැඳී සිටින්නේ නම් රූපාවාහිනී කැමරා ජාලයක් මගින් ඒ බව සොයා ගැනීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සූදානම් වෙයි. ඒ වෙනුවෙන් ක්‍රීඩකයාගේ පාදය පිහිටි සීමාව සොයා ගන්නා රූපවාහිනී කැමරා 12 ක් භාවිතයට ගැනේ.

මෙම තාක්‍ෂණය හඳුන්වනු ලබන්නේ අර්ධ-ස්වයංක්‍රීය අනුචිත-සීමා තාක්‍ෂණය හෙවත් (SAOT) ලෙසිනි. කැමරා කෝණ කිහිපයක් මගින් ක්‍රීඩකයකුගේ ගමන් මග සොයාගන්නා අතර, පන්දුවට ඇතුළත් කරන ලද සංවේදකයක් (Chip) මගින් ක්‍රීඩකයා සිටින ඉසව්ව සොයා ගැනේ. එසැණින්ම ක්‍රීඩාංගණයේ පිහිටි දැවැන්ත තිරය මත ත්‍රිමාණ රූපයක් නිර්මාණය කරන බැවින් තරගයේ විනිශ්චයකරුවාගේ තීන්දුවට පසුබිම් වූයේ කුමක්ද යන්න ප්‍රේක්‍ෂකයන්ට වටහා දෙනු ඇත.

වසර 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී සීමා විනිසුරුවරුන්ගෙන් සිදුවූ අතිශය භයංකාර වැරදි කිහිපයක් හේතුවෙන් මහත් ආන්දෝලන ඇතිවිය. පසුව 2014 දී බ්‍රසීලයේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා ගෝල සීමා තාක්‍ෂණය හඳුන්වා දෙන ලදි. එය ඉතාම සාර්ථක ක්‍රමවේදයක් වූයේය.

වසර 2018 රුසියාවේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී භාවිතා කරන ලද වීඩියෝ ප්‍රතිදර්ශන මගින් තරගයක තීරණය වෙනස්කිරීමේ ලා උපස්ථම්භක වන සිදුවීම් නැවත නැවත නිරීක්‍ෂණය කරමින් වඩාත් නිවැරදි තීන්දුවක් ගැනීමට විනිසුරුවරුන්ට අවස්ථාව ලැබිණ.

මෙම නවතම අර්ධ-ස්වයංක්‍රීය අනුචිතසීමා තාක්‍ෂණය මගින් දැනට භාවිතයේ පවතින වීඩියෝ සහායක තීරණ ක්‍රමවේදයට වඩා ඉතාමත් වේගවත් නිරීක්‍ෂණ ලබාදෙනු ඇත.
“මේ නවතම ක්‍රමවේදය ඉතාමත් නිරවද්‍ය වන නමුත්, මේ ක්‍රමවේදය තව තවත් දියුණු කළ හැකියි” යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා වන පියර්ලුයිගි කොලිනා පවසයි. පියර්ලුයිගි කොලිනා, තාක්‍ෂණය එතරම් භාවිතා නොකෙරුණු, 2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිටම අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සමගින් කටයුතු කරන්නෙකි.

කටාරයේ පිහිටි සෑම පාපන්දු ක්‍රීඩාංගණයකම, වහළයට යටින්, විශේෂ කැමරා 12 ක් ක්‍රියාත්මක වෙයි. ඒවා මගින්, තත්ත්පරයට 50 වතාවක් බැගින්, සෑම ක්‍රීඩකයකුගේම ගමන් මාර්ගයේ දත්ත එක්රැස්කරන මධ්‍යස්ථාන 29 ක් වෙත යවනු ලැබේ. පසුව පරිගණක විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මගින් නිර්මාණය කරනු ලබන ත්‍රිමාණ රේඛාවක්, වීඩියෝ ආධාරක තීරක මණ්ඩලය වෙත යවනු ලැබේ.

“පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තම වේදිකාවේදී සිදුවිය හැකි, කාලයක් මතකයේ පවතින බරපතළ වැරදි ඉවත්කිරීම සඳහා තාක්‍ෂණය උපරිම ආකාරයෙන් භාවිතා කිරීම අපගේ අරමුණයි” යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නව නිර්මාණ අධ්‍යක්‍ෂ ජොහැන්නස් හොල්ස්මුලර් මහතා කීවේය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මේ ආකාරයේ නවීන තාක්‍ෂණය වෙත යොමු වූයේ වසර 2010 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත ක්‍රීඩක ෆ්‍රෑන්ක් ලැම්පාර්ඩ්ගේ පහරකින් දැළ තුළට ගිය පන්දුව ගෝලයක් බවට පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. එදිනම සවස පැවැති තවත් තරගයකදී වැරදි සහගත “අනුචිත-සීමා” තීරණයක් හේතුවෙන් ආර්ජන්ටිනාවේ කාලෝස් ටෙවේස්ට පහසුවෙන්ම ගෝලයක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබිණ.

බ්‍රසීලයේදී පැවැති 2014 ලෝක කුසලාන තරගාවලියේදී නයිජීරියාව හමුවේ බොස්නියාව ලබාගත් ගෝලයක් “අනුචිත-සීමාවේ” සිට ලබාගත් එකක් යයි දුන් වැරදි සහගත තීන්දුව හේතුවෙන් බොස්නියාවට තරගය සමකිරීමට තිබූ අවස්ථාව අහිමි විය. නයිජීරියාව එම තරගයේදී ගෝල 1-0 ක ජයක් අත්කරගත්තේය.

නවතම ක්‍රමවේදය අනුව “අනුචිත-සීමාව” සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීරණයක් තත්ත්පර 25 ක් වැනි කෙටි කාලයකදී ගත හැකිය. එහෙත් දැනට පවතින ක්‍රමවේදය අනුව, වීඩියෝ ආධාරක විනිසුරු මණ්ඩලයේ සහයෝගය ඇතිව වුවද, “අනුචිත-සීමාවේ” සිටින ක්‍රීඩකයකු හඳුනා ගැනීම සඳහා තත්ත්පර 70 ක පමණ කාලයක් ගතවේ.

කෙසේ වෙතත් නව තාක්‍ෂණය සමගින් ක්‍රීඩාංගණයේ විශාල ඩිජිටල් තිරය මත ත්‍රිමාණ රූපයක් නිර්මාණය වන බැවින්, සිදුවූයේ කුමක්ද යන්න වටහාගැනීමට ප්‍රේක්‍ෂකයන්ට මෙන්ම පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයන්ටත් අවස්ථාව උදාවෙයි. එමගින් විනිසුරුවරුන් වෙත එල්ලවන පීඩනය අඩුකෙරේ.

තාක්‍ෂණික වශයෙන් කොතරම් ඉදිරියට ගියද, පාපන්දු තරග සඳහා රොබෝ විනිසුරුවරුන් යොදාගැනීමේ අදහසක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට තවමත් නැත.

 


අදහස් (0)

අනුචිත සීමාව සොයන්න කැමරා 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.