Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සාරංගිට – ධනුෂ්කට රන් පදක්කම්

සාරංගිට – ධනුෂ්කට රන් පදක්කම්

editorial - 2022 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ ජාතික දුර පැනිමේ ශූරිය වන ලක්ෂිණි සාරංගි සිල්වා ස්විට්සර්ලන්තයේ දී ඊයේ (11) වැනිදා පැවැති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වෙමින් මීටර 6.33කට දුර පැනීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඒ අතර එදිනම (11) ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැති උසස් දක්ෂතා ප්‍රවර්ධන මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ දුර පැනීමේ ශූරයෙකු වන ධනුෂ්ක සඳරුවන් මීටර 8.03 කට දුර පැනීම (පිරිමි) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේය.

ස්විස්ටර්ලන්තයේ දී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා සාරංගි සිල්වා   දුර පැනීම (කාන්තා) ඉසව්වේ මීටර 6.65කට ජාතික වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩිකාවයි. වසර 2019 කත්මන්ඩු සාග් ක්‍රීඩා උළෙලේ දී මීටර් 6.38කට උස පැනීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ද ඇයයි.

ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා සමග ඇය මේ දිනවල යුරෝපයේ රටවල් කීපයක පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගිවී සිටින්නීය. ‘චිලි ක්‍රිඩිකා ‘රොකියෝ’ ස්විස්ටර්ලන්ත මලල  ක්‍රීඩා තරගාවලියේ දී දෙවැනි ස්ථානයට පත්වූයේ මීටර 6.28කටය.

කැලිෆෝනියාවේ දී දක්ෂතා දැක්වූ එහි නේවාසික පුහුණුවීම් හදාරන ධනුෂ්ක සඳරුවන්ගේ මීට ප්‍රථම තරගාවලියක දී හොඳම දක්ෂතාවය වූයේ මීටර 7.99කි. එක් අවස්ථාවක දී ඔහු මීටර 8.10ක් දක්වා දක්ෂතා ප්‍රවර්ධනය කරගත් නමුදු එය එම අවස්ථාවේ පැවැති සුළඟේ වේගයේ බලපෑම තුළ නිල දක්ෂතාවයක් ලෙස නොසැලකේ.

මේ අතර ඊයේ පැවැති ස්විස්ටර්ලන්ත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහගේ දක්ෂතා මීටර 70.21ක් දක්වා අවම මට්ටමකට පැමිණ තිබීමෙන් ඔහුට හිමිවූයේ සිව් වැනි ස්ථානයයි. බ්‍රිතාන්‍යයේ ඩැනියෙල් බයින්බ්‍රිජ් මීටර  71.23කට මෙහි ජයග්‍රහණය සතුකර ගත්තේය.

කෙසේ වුවත් මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට (මීටර 83.04) හිමිකම් කියන සුමේධ රණසිංහගේ මෑත උපරිම දක්ෂතාවය ලෙස වාර්තා වන්නේ මීටර 82.16කි. එහෙත් ළඟ එන ලෝක ශූරතාවලියට නිර්දේශ ලබා ගැනීමට නම් ඔහු මීටර 85.00කට අවම දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ යුතුය.

මේ අතර ඇමරිකාවේ ඉසුජන්  ප්‍රාන්තයේ දී ජුලි 15වැනිදා ආරම්භ වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන මෙරට ක්‍රීඩිකාවක් වන මීටර් 800 ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න හත්වැනි ස්ථානයට තරගය නිමා කළේ විනාඩි 2 තත්පර 03.62 කටය. ඒ අනුව ඇගේ දක්ෂතා මෙම තරගාවලියේ දී ඉහළට පැමිණ නැත. විනාඩි 2 තත්පර 01.44ක මීට පෙර ඉහළ දක්ෂතාවයක් පළකර තිබෙන මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෝක මලල ක්‍රීඩා  තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට නම් විනාඩි 1 තත්පර  59.50ක අවම දක්ෂතාවයක් පළකළ යුතුය.

ඊයේ ස්විස්ටර්ලන්ත තරගාවලියේ දී දක්ෂතා මැන බැලූ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන කාලිංග කුමාරගේ මීටර 400 (පිරිමි) ඉසව්වෙන් පළ කළේ තත්ත්පර 46.42ක දක්ෂතාවයකි. ඇමරිකාවේ ට්‍රෙබර් ස්ටීබර්ට් තත්ත්පර 44.99කට මෙහි රන් පදක්කම දිනා ගන්නා අතර කාලිංග කුමාරගේ ගේ ඉසව්වේ ස්ථානය හය දක්වා පහළට වැටී තිබුණි.

ඔහුගේ ශ්‍රී ලංකාවේ මෙතෙක් හොඳම දක්ෂතාවය තත්පර 45.97කි. ඉසුජින් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ප්‍රවේශවීමට ඔහු තත්පර 44.90ක අවම දක්ෂතාවයක් පළකළ යුතුය.

සුගත් තිලකරත්න ‘ෆ්‍රකෝනාහිදී 1998 වසරේ  තත්පර 44.61කට පළකළ දක්ෂතාවය මේ දක්වා නොබිඳී පවතින මීටර 400 (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවයි.

කෙසේවුවත් ස්විස්ටර්ලන්ත තරගාවලියට යොමු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනාට අපේක්ෂිත අරමුණ කරා ළඟාවීමට නොහැකි වූ බව ඊයේ තරග ප්‍රතිඵලවලින් කියයි.

ලබන ජුනි 27 වැනිදා දක්වා ඉසුජින් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට නිර්දේශ ලබාගැනීමේ අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිව තිබේ. එහෙත් මෙතෙක් ඒ සඳහා මෙරට කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සුදුසුකම් ලේඛනයෙන් නිර්දේශ ලබා ගැනීමට සමත්ව නැත.

ඒ සඳහා ගනු ලබන උත්සහයක් ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ‘කඩඉම්’ ආසන්නයට ළඟා වී සිටින මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට මෙලෙස යුරෝපයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි කීපයකට සහභාගිවීමේ අවස්ථාව සළසා දී තිබේ.

ඡායාරූපය - සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි


අදහස් (1)

සාරංගිට – ධනුෂ්කට රන් පදක්කම්
  • Pathmasiri Perera Monday, 13 June 2022 12:35 PM

    සුබපැතුම් සාරංගි,...! ඔහොම යං..! අපේ ගමේ කෙනෙක්... නියමයි...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.