Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු නඩුව අවසන් - නිලවරණ කමිටුවකට අවසර

පාපන්දු නඩුව අවසන් - නිලවරණ කමිටුවකට අවසර

editorial - 2022 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ඉදිරි දින 69 ක කාලයක් තුළදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය පවත්වා අවසන් කිරීමේ එකඟතාවය මත ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඇතුළුව නව දෙනකු වගඋත්තරකරුවන් කරමින් පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් මහතා පවරා තිබූ නඩුව අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (26) තීරණය කළේය.  ඒ අනුව එහි මූලික පියවර ලෙස නිලවරණය මෙහෙයවීම සඳහා නිලවරණ කමිටුවක් පත්කර ගැනීමේ අරමුණින් ඉදිරි දින 14 ක කාලයක් තුළදී පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට වගඋත්තරකාර පාර්ශ්වය ගෙන ආ යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වය එකඟතාවය පළ කිරීමෙන් මෙම නඩුව අවසන් කිරීමට අභිචනාධිකරණය ඊයේ කටයුතු කළේය.

එහිදී කැඳවෙන විශේෂ මහ සභා රැස්වීමේදී ඉදිරිපත් කෙරෙන නාමයෝජනා මගින් නිලවරණ කමිටුව පත්කර ගැනේ. කෙසේ වුවත් නිලවරණ කමිටුවට නාමයෝජනා නිර්දේශ කිරීම ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා භාරයේ සිදු කිරීමට වගඋත්තරකාර පාර්ශ්වය කළ ඉල්ලීමකට පෙත්සම්කාර පාර්ශ්වය එකඟ නොවීමෙන් නිලවරණ කමිටුව පත්කර ගැනීම විශේෂ මහ සභා රැස්වීමට පැවරුණි.

මෙම වසරට නියමිත ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදී තිබූ සහන කාලය අවලංගු කිරීමෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයට බලපෑමක් වූ බව දක්වමින් ඒ වනවිට එහි සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් මහතා විසින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුව පසුගිය ඔක්තෝබර් 4 වැනිදා සිට විභාගයට ගැනුණි.  පාපන්දු නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් මෙම නඩුව පාපන්දු ලීග 40 ක් මැදිහත් පාර්ශ්වයක් ලෙස එක්ව සිටියේය.

පාපන්දු ආයතනයේ පරිපාලන කටයුතු තාවකාලිකව මෙහෙයවීම මේ වනවිට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ භාරයට ගෙන තිබේ. ටොරින්ටන් පෙදෙසේ පිහිටි පාපන්දු ආයතනයේ මූලස්ථානයේ (පාපන්දු නිවසේ) සේවක සේවිකාවන් හා නිලධාරීන්ගේ මාස දෙකක වැටුප් ගෙවීම මෙම පරිපාලන අර්බුදය හමුවේ මේ වනවිට අත්හිටුවා තිබේ.  එම වැටුප් ගෙවීම් අද හෙටම සිදුකෙරෙනු ඇතැයිද පාපන්දු ආයතනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

පාපන්දු ආයතනයේ නිලවරණය නව දින යොදා ගැනීම් අනුව ලබන ජනවාරි පළමු සතිය නිමාවට පෙර පවත්වා අවසන් කළ යුතුය.


අදහස් (0)

පාපන්දු නඩුව අවසන් - නිලවරණ කමිටුවකට අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.