Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය වි-20 තරගාවලිය සමකරයි

එංගලන්තය වි-20 තරගාවලිය සමකරයි

editorial - 2021 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කරගත් එංගලන්ත දඟ පන්දු යවන්නෝ හෙඩිංග්ලිහිදී ඉරිදා (18 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 45 ක ජයක් කරා එංගලන්ත පිල කැඳවාගෙන ගියහ. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමටද එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්තය තරගයට පිවිසියේ සිය සාම්ප්‍රදායික සැලසුම් වෙනස් කරමිනි.

මෙම තරගයේදී දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන අදිල් රෂීඩ් සහ මැතිව් පාකින්සන්ද පිට දඟ පන්දු යවන්නකු ලෙසින් මොයින් අලී ද එංගලන්ත පිල නියෝජනය කළහ. එහි ප්‍රතිඵල උපරිම වශයෙන් ලබාදුන් පා දඟ පන්දු යවන්නෝ දෙදෙනා ඕවර 8 දී ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගත්හ. තරගයේ වීරයා වූ මොයින් අලී එංගලන්ත පිල ලබාගත් ලකුණු 200 න් ලකුණු 32 ක හිමිකරුවා වූ අතර සිය පිට දඟ පන්දු වලින් ලකුණු 32 කට කඩුලු 2 ක් ද දවාගත්තේය.

මේ වන විට නිරෝධායනය වෙමින් සිටින එංගලන්ත විස්සයි-20 නායක ඔයින් මෝගන් වෙනුවට ජොස් බට්ලර් එංගලන්ත පිල මෙහෙයවමින් ලකුණු 59 ක් ලබාගත්තේ සිය පසුපෙළ පිතිකරුවන්ට මනා මඟපෙන්වීමක් වෙමිනි.

“මා හිතන්නේ ඒක තරග සැලැස්මකට වඩා පැවැති තත්ත්වය හොඳින් ප්‍රයෝජනයට ගැනීමක් කියලයි”  මොයින් අලී දඟ පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තැබීම සම්බන්ධයෙන් සිය නායකයාගේ තීරණය අගය කළේය.

එංගලන්ත ඉනිමේදී ලයාම් ලිවිංග්ස්ටන් පාකිස්තානයේ හාරිස් රවුෆ්ගේ පන්දුවකට ගැසූ දැවැන්ත හයේ පහරකින් පන්දුව පිට්ටනියෙන් ඉවතට ගොස් අසළ නිවෙසක වීදුරුවක් බිඳ දැම්මේය.

“ඒක මහ විශාල පහරක්... එයා මේ වගේ දේවල් කරනවා මම මීට ඉස්සරත් දැකලා තියෙනවා... දකුණු අප්‍රිකාවේ සන්සි සුපර්ලීග් තරගාවලියේදී මම එයා එක්ක ක්‍රීඩා කළ. ඒ තරගයකදී එයා ගැසූ පහරකින් පන්දුව ජොහැන්නස්බර්ග් පිටියෙන් එළියටම ගියා” යයි ද ලිවිංග්ස්ටන්ගේ පහර දීම් සම්බන්ධයෙන් මොයින් අලී පැවසීය.

පන්දු 23 කින් ලකුණු 38 ක් ලබාගත් ලයාම් ලිවිංග්ස්ටන්ගේ ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් වූ අතර ඔහු දුවද්දී දැවීගියේය.

ලකුණු 201 ක ඉලක්කයක් හඹා යාමේදී පාකිස්තානු ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ලකුණු 50 ක සාර්ථක ආරම්භයක් ලබාගත්හ. එහෙත් ඉතිරි ලකුණු 105 ඇතුළත සම්පූර්ණ කණ්ඩායමම දවා ගැනීමට එංගලන්ත දඟ පන්දු යවන්නෝ සමත් වූහ.


එංගලන්තය - ඕවර 19.5 කදී 200 යි
(ජේසන් රෝයි 10, ජොස් බට්ලර් 59, මොයින් අලී 36, ලයාම් ලිවිංග්ස්ටන් 38, ජොනී බෙයාර්ස්ටෝ 13, ක්‍රිස් ජෝර්ඩ්න් 14, ඉමාඩ් වසීම් 37/2, මොහොමඩ් හස්නෙයින් 51/3, හාරිස් රවුෆ් 48/2)

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 155 යි
(මොහොමඩ් රිස්වාන් 37, බාබර් අසාම් 22, සොහායිබ් මක්සූද් 15, මොහොමඩ් හෆීස් 10, ඉමාඩ් වසිම් 20, ශදාබ් ඛාන් නොදැවී 36, අදිල් රෂීඩ් 30/2, සකීබ් මහමුද් 33/3, මොයින් අලී 32/2)

එංගලන්තයේ සකීබ් මහමුද් කඩුල්ලක් ලබාගනිමින්....

- 213

 


අදහස් (0)

එංගලන්තය වි-20 තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.