Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් යළිත් එක්දින දොරටුව අබියස

මැතිව්ස් යළිත් එක්දින දොරටුව අබියස

editorial - 2023 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව, හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් එක්දින පිටියට කැඳවාගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සූදානම් වෙයි. ඒ අනුව ලබන මස 15 වැනිදා සිට, එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව, කොළඹදී පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලියේදී මැතිව්ස් ක්‍රීඩා කරවීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

මැතිව්ස් මෙම එක්දින තරගාවලියට කැඳවනු ලබන්නේ මාර්තු මස 25 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගාවලියේදීත් අවස්ථාවක් දීමේ බලාපොරොත්තුවෙනි.

මේ වසරේ අගභාගයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම ඇතුළත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානමකට මුහුණ දී සිටී. ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ සිටී. එහෙත් 8 වැනි ස්ථානයේ සිටින කොදෙව් පිල අභිබවා ඉහළට යාමට නම් නවසීලන්තයේදී පැවැත්වෙන එක්දින තරග තුනේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ප්‍රසාද ලකුණු 15 ක් අවශ්‍යව තිබේ.

ඒ සඳහා අඩුම වශයෙන්, නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක තරගයක් ජයගනිමින්, අනෙක් තරග දෙකින් එකක් වර්ෂාවට ගොදුරු විය යුතුය. නැතහොත් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට පොරතුව, සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාවට සිදුවෙයි.

ඉන්දියාවට එරෙහිව පසුගියදා පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට 3-0 ක දරුණු පරාජයක් හිමිවූ අතර එහිදී පැහැදිළිවම දැකගත හැකිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවයයි. තරග දෙකකදීම 40 වැනි ඕවරය නිමාවීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගියේය.

එම තරගාවලියේ ශ්‍රී ලංකා ඉනිම තුනේදීම, 10 වැනි ඕවරයත් 40 වැනි ඕවරයත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගෙන ඇත්තේ ලකුණු 380 කි. එකී කාලය තුළදී අහිමි කරගත් කඩුලු සංඛ්‍යාව 20 කි. ආසන්න වශයෙන් කඩුලු දෙකක් අතර සම්බන්ධතාව 19 කි.

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් අතර, එක්දින තරගයකදී හොඳම ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය හිමි ක්‍රීඩකයා වන්නේ ඉනිමදී ලකුණු 41.98 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින කුමාර් සංගක්කාරයි. ලකුණු 41.67 ක සාමාන්‍යයක් සහිත ඇන්ජලෝ මැතිව්ස් මෙම ලයිස්තුවේ සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය ගෙන සිටී. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ගේ යොවුන් ක්‍රීඩකයන් සොයාගැනීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් 2021 මාර්තු මාසයේදී පැවැති කොදෙව් සංචාරයෙන් පසුව එක්දින තරග සඳහා මැතිව්ස්ට කැඳවීමක් නොලැබිණ.

එක්දින තරග 218 කට ක්‍රීඩා කර ඇති මැතිව්ස්, මේ වන විට ශතක 3 ක් සහ අර්ධ ශතක 40 ක් සමඟින් ලකුණු 5835 ක් ලබාගෙන තිබේ.


අදහස් (2)

මැතිව්ස් යළිත් එක්දින දොරටුව අබියස
  • sam Monday, 30 January 2023 11:06 AM

    ප්‍රමෝදය එක්කොම අනාගෙන දැන් මැතිව්ව ගේන්න හදනවා. මේ අය තේරීම් කමිටුවට ආවාම ඕවා තමයි ප්‍රතිවිපාක...

    Reply 0       0

    කඩ්ඩා Monday, 30 January 2023 02:31 PM

    අනේ අම්මෝ එපා!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.