Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැඩ්වඩෙව් මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

මැඩ්වඩෙව් මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

editorial - 2021 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ‍ජොකොවික් පරාජය කරමින් සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට රුසියාවේ ඩැනීල් මැඩ්වඩෙව් ඊයේ (12 වැනිදා) සමත් විය. විසිපස් හැවිරිදි මැඩ්වඩෙව් මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවේ.‍ ‍

ඉතා තියුණු මුහුණුවරත් ගත් අවසන් මහ තරගයේදී දෙදෙනාම කරට කර තරග වැදුණ අතර වට 3 කට සීමා වූ ඉන් මැඩ්වඩෙව් ජය ලැබුවේදී වට තුනේදීම ලකුණු 6/4 ක් ලෙස ජොකොවික් පරදවමිනි. එම තරගයේදී ලද පරාජය හේතුවෙන් තවදුරටත් ජො‍කොවික්ට, ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම තත්ත්වයේ රැදී සිටීමට සිදුවිය.
 
මෙම වසරේ (2021) පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ජොකොවික් හමුවේ පරාජයට පත්වූ මැඩ්වඩෙව්, ප්‍රංශ විවෘත ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ග්‍රීසියේ ස්ටෙෆානස් සිට්සිපාස් හමුවේද, විම්බල්ඩන් ශූරතාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පෝලන්තයේ හියුබට් හර්කාස් හමුවේද පරාජයට පත් විය.

කෙසේ වුවත් එම ශූරතාවලීන්හිදී තමා අතින් සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් මෙවර ඇමරිකානු විවෘත ශූරතාවලියේදී දක්ෂ ලෙස තරග වැදුණ මැඩ්වඩෙව්, එහිදී සිය ක්‍රීඩා දිවියේ ඉහළම ජයග්‍රහණය වාර්තා කළේය. එම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක මුදල් ත්‍යාගයක්ද හිමි විය. අනු ශූරතාව හිමිකරගත් ජොකොවික්ට හිමි වූ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ දොළහමාරකි.

ෆෙඩරර් සහ නඩාල් පසුකර යමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වීමේ අරමුණින් ජෙ‍ාකොවික් මෙවර ඇමරිකානු විවෘත ශූරතාවලියට සහභාගි විය. මෙවර ඇමරිකානු විවෘත ශූරතාවද දිනාගැනීමට ඔහු සමත් වූවා නම්, ඔහුට එදා මෙදා තුර ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව තිබිණ.

ඒ අනුව ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනා සිටින ජොකොවික්ට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වීම සඳහා ලබන වසරේ (2022) ජනවාරි මාසයේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය දක්වා බලා සිටීමට සිදුවනු ඇත.

විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට ෆෙඩරර් සමත්ව සිටියි. නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට සමත්ව ඇත්තේ ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමගිනි.

-036


අදහස් (0)

මැඩ්වඩෙව් මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.