Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ඉනිමක ජයක්
වෙලිංටන් ටෙස්ට් තරගය

නවසීලන්තයට ඉනිමක ජයක්

editorial - 2023 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දෙකකට ඉහතදී ලෝක ටෙස්ට් ශූරතාව දිනාගත් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පරතරය මේ යයි කදිමට පැහැදිළි කර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ, වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (20 වැනිදා) ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉනිමක සහ ලකුණු 58 ක ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් 2-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයගැනීමට නවසීලන්තයට හැකිවිය.  

දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ නමුත් මුල් ඉනිමේදී ලකුණු 164 කට දැවී යාමේ අවාසිය මඟ හරවාගත නොහැකි විය. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 416 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 358 කි.

දෙවැනි ඉනිමේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා අද දිනයේදී ටෙස්ට් ලකුණු 3000 කඩයිම පසුකර ගියේය. පැය 4 කට වැඩි කාලයක් පුරා, පන්දු 185 කට මුහුණ දෙමින්, ඒවායින් 12 ක් හතරේ සීමාවෙන් එපිටටත්, තවත් එකක් ඊට ඉහළිනුත් යැවූ ධනංජය සිය 10 වැනි ටෙස්ට් ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේ මහත් අවාසනාවන්ත ලෙසිනි.

ශ්‍රී ලංකාවේ කඩා වැටීම ආරම්භ වූයේ මැතිව් හෙන්රි විසින් අද යවන ලද පළමු වැනි ඕවරයේදීම කුසල් මෙන්ඩිස් දැවී යාමෙනි. පැයක් තිස්සේ පන්දු 44 කට මුහුණ දුන් ඇන්ජලෝ මැතිව්ස් ලබාගත්තේත් ලකුණු 02 කි. ඊයේ සවසත්, අද පෙරවරුවේදීත්, නවසීලන්ත වේග පන්දු යවන්නන්ගේ පන්දු යැවීම එතරම් තර්ජනාත්මක මෙන්ම ඉලක්කයට කළ පන්දු යැවීමක් විය.

ලකුණු 03 ක් ඇතුළත කුසල් මෙන්ඩිස් (50) සහ ඇන්ජලෝ මැතිව්ස් (02) දෙදෙනාම දැවී යාම හේතුවෙන් කඩුලු 2 කට 113 ක් ව තිබූ ලකුණු පුවරුව හදිසියේම කඩුලු 4 ට 116 ක් ලෙසින් දිස්විය. එම අවස්ථාවේදී දිනේෂ් චන්දිමාල් (62) සමගින් එක්වූ ධනංජය පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉනිමක පරාජයෙන් කණ්ඩායම බේරා ගැනීමේ බලාපොරෙත්තු දැල්වූයේය.

චන්දිමාල් දැවී ගියද, නිශාන් මධුෂ්ක සමගින් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ධනංජයත්, කෝඩුකාරයාත් දෙදෙනාම ලකුණු 318 දී දැවී ගියහ. ඒ වන විට තේ පානය සඳහා ඉතිරිව තිබුණේ මඳ වේලාවක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයට ලකුණු 98 ක් ඈතින් සිටියේය.

අවසන් කඩුලු 3 විගසින් දවාගනිමින්, තරගය ඉක්මනින් ඉවර කිරීමට නවසීලන්ත වේග පන්දු යවන්නන් උත්සාහ කළ නමුත් කසුන් රාජිතගෙන් ඊට අවසර නොලැබිණ.
කසුන් රාජිත ලබාගත්තේ ලකුණු 20 කි. එහෙත් පැය දෙකකට වැඩි කාලයක් පුරා, පන්දු 110 කට මුහුණ දෙමින්, පසුපෙළ පිතිකරුවන් මුවාකරගනිමින් පන්දුවට පහර දුන් කසුන් අවසන් පිතිකරුවා ලෙසින් දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 358 ක් වී තිබිණ. නවසීලන්ත වේග පන්දු යවන්නන් වන ටිම් සවුතී (51/3) සහ බ්ලෙයාර් ටික්නර් (84/3) ශ්‍රී ලංකාවට වැඩිම හානිය කළ පන්දු යවන්නෝ වූහ.

“අපට නම් මේක හරිම කණගාටුදායක තරගාවලියක්. පළමු වැනි ටෙස්ට් තරගයේදී එච්චර හොඳට කරලාත්, ඊට වඩා පොඩ්ඩක්වත් හොඳින් මේ තරගයේදී සෙල්ලම් කරන්න අපට පුළුවන් වුණේ නෑ” යයි දිමුත් කරුණාරත්න තරගයෙන් පසුව පැවසීය.

“අපේ පන්දු යවන්නන් එක එල්ලයකට පන්දු යැව්වේ නෑ. ඒකෙන් තමයි තරගය අපට අහිමි වුණේ. ඒ වගේම අපේ පිතිකරුවන්ට විශාල ඉනිම කරා යන්න බැරිවුණා. මේ අංශ දෙක ගැනම අපි උනන්දු වෙන්න ඕනේ” යයි ද දිමුත් කරුණාරත්න පැවසීය.

මෙම තරගාවලියේ ඉනිම 4 න් ඉනිම තුනකදීම ලකුණු 300 කඩයිම පසුකර ගිය නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූයේ 2-0 ක තරගාවලි පරාජයකි. නවසීලන්තය මුල් ඉනිමේදී කඩුලු 4 කට 580 ක් ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට සිදුවිය.

“මේ තරගය ජයග්‍රහණයකින් අවසන් කරන්නට ලැබීම සතුටක්. මොකද කාලගුණ අනාවැකිය ඒ තරම් හොඳ තත්ත්වයක තිබුණේ නෑ.... විශේෂයෙන්ම ඔවුන්ව පිට පිටම දෙවැනි වතාවටත් පිතිහරඹයට යැවීමට හේතුව වුණෙත් ඒකමයි” යයි නවසීලන්ත නායක ටිම් සවුතී තරගයෙන් අනතුරුව පැවසීය.

“කොහොම වුණත් පසුගිය සති කීපයේදීම අපි හොඳ ටෙස්ට් තරග කිහිපයක නිරත වුණා. ඒ වෙනුවෙන් එක් එක් ක්‍රීඩකයන් එක් එක් වෙලාවලදී ඉදිරිපත් වෙලා සාර්ථක දස්කම් දැක්වූවා” යයි සවුතී කීවේ එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියත් 1-1 ක් ලෙසින් සමකරගත් බැවිනි.

- 213


අදහස් (0)

නවසීලන්තයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.