Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයග්‍රහණයක බලාපොරොත්තු
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

ජයග්‍රහණයක බලාපොරොත්තු

editorial - 2023 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට ශතකයත්, නවසීලන්ත දෙවැනි ඉනිම ආරම්භයේදීම ඩෙවොන් කොන්වේ දවාගැනීමත් නිසා, ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකා කණ්ඩයම බලාපොරොත්තු රඳවාගෙන සිටී. තරගයේ ජයග්‍රහණය සඳහා තරගයේ අවසන් දිනය වන හෙට (13 වැනිදා) ලකුණු 256 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9 ක් දවාගැනීම අවශ්‍ය වී තිබේ.

තරගයේ සිව්වැනි දිනය වූ අද (12 වැනිදා) ලකුණු 285 ක ඉලක්කයක් කරා යාම ඇරඹූ නවසීලන්තයේ ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී කසුන් රාජිත විසින් ඩෙවොන් කොන්වේ දවාගන්නා ලදි. කොන්වේ දවාගැනීමෙන් පසුව, සතුටින් උද්දාමයට පත් ශ්‍රී ලාංකිකයන්, කේන් විලියම්සන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් බවට කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ශ්‍රී ලංකා නායකයා විසින් එය විතීවි වෙත යොමුකරන ලද නමුත් සිය කඩුල්ල රැකගැනීමේ අවස්ථාව විලියම්සන්ට ලැබිණ.

දිනය අවසන් වූයේ ටොම් ලෙතම් (නොදැවී 11) සහ කේන් විලියම්සන් (නොදැවී 07) එක්ව ලකුණු සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ දැමීමෙනි. එහෙත් නවසීලන්ත කණ්ඩායම තවමත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 256 ක් පසුපසින් සිටී.

“මේ ටෙස්ට් තරගය ජයගන්න අපි ඉතාම හොඳ අවස්ථාවක් හදාගෙන තියෙනවා” යයි සිව්වැනි දිනයේ ක්‍රීඩාවෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් වාර්තාකරුවන් හමුවේ පැවසීය.
 
දෙවැනි ඉනිමේ කඩුලු 3 ක් ලකුණු 86 කට බිඳ වැටී, ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු මොහොතක පිටියට පිවිසි මැතිව්ස්, පැය හයකට ආසන්න කාලයක් පුරා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් සිය 14 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. තමන් දවාගැනීමට එකම අවස්ථාවක් හෝ නොදුන් මැතිව්ස් පන්දු 235 කට මුහුණ දෙමින් ඒවායින් 11 ක් හතරේ සීමාවට පිටත්කර හැරියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 95 කට කඩුලු 4 ක් බිඳ වැටුණද දිනේෂ් චන්දිමාල් සමගින් එක්වූ මැතිව්ස් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක් එක්කළේය. එතැන් සිට ධනංජය ද සිල්වාට එක් වූ හිටපු ටෙස්ට් නායකයා, ලකුණු සංඛ්‍යාව කඩුලු 5 ට 260 ක් දක්වා ඈතට ඇදගෙන ගියේය. එහෙත් මැතිව්ස් දැවී යාමත් සමගින්, ලකුණු 42 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 5 ම බිඳ වැටුණෙන් නවසීලන්ත පිලේ ඉලක්කය ලකුණු 285 දී නතර විය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවීයාම හේතුවෙන් ධනංජය ද සිල්වාට සහායක පිතිකරුවන් නොමැති විය. පැය දෙකකට ආසන්න කාලයක් (විනාඩි 112 ක්) පිටියේ රැඳුන ධනංජය ද සිල්වා ආපසු ක්‍රීඩාගාරයට පියමං කරන විට පන්දු 73 කදී නොදැවී ලකුණු 47 ක් ලබා සිටියේ හතරේ පහර 7 ක් සිය ඉනිමට එක් කරමිනි.

මැතිව්ස්ගේ ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම වැටෙන්නට ගිය අලි අමාරුවකින් ගැලවුණා පමණක් නොව, සිව්වැනි ඉනිමේදී නවසීලන්ත පිතිකරුවන් පීඩනයට ලක්කිරීමටද අවස්ථාව උදාකර ගත්තේය.

නවසීලන්ත ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 257 ක් අවශ්‍ය වූවත් ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් පිටියේදී කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ කඩුලු 8 කට 256 කි. එයද තරගයක් ජයගැනීමට නොව, ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයකදීය.

“අපි මේ ලකුණු සංඛ්‍යාව (302) ලබාගන්න හුඟාක් වෙහෙසීමෙන් පන්දුවට පහර දුන්නා. ඒ වගේම මේ තත්ත්වය අනුව ප්‍රයෝජන ගන්න පුළුවන් වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකුත් අපට ඉන්නවා”

“අපේ පිතිකරුවන් ලකුණු ලබාගත්තොත්, ඒකෙන් අපට ඉන්න වේග පන්දු යවන්නන්ට ප්‍රයෝජන ගන් පුළුවන් කියන විශ්වාසයත් අපට තිබුණා” යයි ද මැතිව්ස් කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව ඇත්තේ කඩුලු 9 ක් පමණි. එහෙත් වර්ෂාව ශ්‍රී ලංකාවේ අපේක්‍ෂාවන්ට බාධා කළ හැකි බව කාලගුණ අනාවැකියකින් කියැවෙයි. සඳුදා උදෑසන වර්ෂාව ඇතිවිය හැකි බව ක්‍රයිස්ට්චර්ච් නුවර කාලගුණ නිලධාරීහු අනතුරු අඟවති.

“තරගයට අවතීර්ණ වෙන්න නම්, අපි සඳුදා උදේම කඩුල්ලක් දවාගන්න ඕනේ. ඒ වගේ තණතීරුවේ එක පැත්තකින් කඩුලු දවාගෙන යන්න පුළුවන් වුණොත් නවසීලන්ත පිතිකරුවන් වෙත පීඩනය දෙන්න අපට පුළුවන්” යයි ද මැතිව්ස් කීවේය.

නවසීලන්තයට ඇත්තේ තමන්ගේ අභිමානය රැක ගැනීමේ අභියෝගයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණයත් සමගින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයේ ස්ථානයක් සොයමින් සිටී. ඒ සඳහා ක්‍රයිස්ට්චර්ච් නුවරදී තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. වෙලින්ටන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයත් ජයගත යුතුය.


- 213


අදහස් (0)

ජයග්‍රහණයක බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.