Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුපර් ලීග් කුසලාන බ්ලූස්ටාර්ස්ට
සුපර් ලීග් පාපන්දු තරගාවලිය

සුපර් ලීග් කුසලාන බ්ලූස්ටාර්ස්ට

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කළුතර ‘බ්ලූස්ටාර්ස්’ ක්‍රීඩා සමාජය අද (11) නිමාවට පත්වූ පළමු සුපර් ලීග් පාපන්දු තරගාවලිය ජය ගනිමින් ඒ සඳහා පිදෙන රුපියල් ලක්ෂ 50ක ත්‍යාගය හිමිකර ගත්තේය.

තරගාවලිය නිමාවට පත් කරමින් අද පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේදී බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක ජයක් වාර්තා කිරීමත් සමග කුසලානය සතු කර ගැනීමට බ්ලූස්ටාර්ස් කණ්‍ඩායමට තිබූ සියලු බාධා ඉවත් විය.

 ශ්‍රී ලංකාවේ පළමු වතාවට අර්ධ වෘත්තීය මට්ටමෙන් අති විශාල වියදමක් දරමින් සංවිධානය වූ මෙම තරගාවලියේ කුසලාන දිනා ගැනීම සඳහා බ්ලූස්ටාර්ස් කණ්ඩායම සමග තියුණු තරගයක නිරත වූ කොළඹ ක්‍රීඩා සමාජයේ එම අපේක්ෂා අද පස්වරුවේ බිඳ වැටුණේ අනපේක්ෂිත ලෙස සීහෝක්ස් (නාවික හමුදා) කණ්ඩායම හමුවේ ගෝල 3-2ක පරාජයක් ලැබීමත් සමගය.

ඒ අනුව අද තරගාවලිය නිමාවට පත් කරමින් පැවැති මෙම තරග දෙකම කුසලාන හිමිකර ගැනීම සඳහා වන බ්ලූස්ටාර්ස් කණ්ඩායමේ හා කොළඹ කණ්ඩායමේ තියුණු සටනක් බවට පත්ව තිබුණි.

කෙසේ වුවත් අද තරගාවලිය නිමාවන විට ජයග්‍රාහී බ්ලූස්ටාර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 22ක් දක්වා සිය ලකුණු ලබාගැනීම ඉහළ නංවාගෙන තිබුණි. එහෙත් ඔවුන් පසුපස කුසලාන දිනා ගැනීම සඳහා හඹා ආ කොළඹ ක්‍රීඩා සමාජයේ තරගාවලියේ මුළු ප්‍රසාද ලකුණු ගණන සීහෝක්ස් පිලට පරාජය වීමත් සමග 19කට සීමා විය.

 කිසියම් ආකාරයකින් අද තරගය කොළඹ ජයගෙන බ්ලූස්ටාර්ස් ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට අද තරගය සම වූයේ නම් ඒ නිසැකවම කොළඹට කුසලාන දිනාගත හැකිව තිබූ අවස්ථාවක් විය.

 එවිට බ්ලූස්ටාර්ස් හා කොළඹ ප්‍රසාද ලකුණු තත්ත්වය පිළිවෙළින් 20ක් හා 22ක් බවට පත්වනු ඇත. මෙම දෙපිළම අද තරග දෙක ජයග්‍රහණය කළේ නම් එවිට සම ප්‍රසාද ලකුණු තත්ත්වයක් (22 බැගින්) මත වුවද කුසලාන හිමිකර ගැනීමේ අවස්ථාව ලබා තිබුණේ බ්ලූස්ටාර්ස් කණ්ඩායමයි.

 ඒ තරගාවලියේ පළමු මුණගැසීමේදී බ්ලූස්ටාර්ස් කණ්ඩායම ගෝල 1-0කට කොළඹ කණ්ඩායම පරාජය කිරීමේ වාසිය එවැනි අවස්ථාවකදී ජයග්‍රාහකයා තීරණය කිරීමට අවසන් වශයෙන් යොදා ගන්නා බැවිනි. එය සම වූ තරගයක් වී තිබුණේ නම් එවිට ජයග්‍රාහකයා තීරණය කිරීම තරගාවලිය පුරා දෙපිළ ප්‍රතිවාදීන්ට එරෙහිව වාර්තා කර තිබෙන ගෝල හා එරෙහිව ලබාගත් ගෝල නිර්නායකයන් ලෙස යොදා ගනී.

බ්ලූස්ටාර්ස් කණ්ඩායම ප්‍රධාන පෙළේ පාපන්දු කුසලානයක් දිනා ගත්තේ 2004 ශූරයන්ගේ තරගාවලිය ජය ගැනීමෙන් පළමු වතාවට වීම කැපී පෙනේ. තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 10 සඳහාම රුපියල් මිලියන 24ක් වන ත්‍යාග මුදලක් බෙදා දේ.

 තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවය මෙම 18 වැනිදා පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

මේ අතර තරගාවලියේ වැඩිම ගෝල ගණනක් රැස් කළ දක්ෂතම ක්‍රීඩකයාට හිමිවන රන් පාවහන් (ගෝල්ඩන් බූට්ස්) සම්මානය දිනා ඇත්තේ බ්ලූස්ටාර්ස් කණ්ඩායමේ ෂෙනාල් සන්දේෂ් ය. ඔහු තරගාවලිය පුරා ගෝල 10ක් රැස් කර තිබේ.

 


රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් දිනූ කළුතර බ්ලූස්ටාර්ස් පාපන්දු කණ්ඩායම.

 


 


අදහස් (0)

සුපර් ලීග් කුසලාන බ්ලූස්ටාර්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.