Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට
ආසියානු කුසලාන

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම මස 27 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් එහි සමාරම්භක තරගයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. ‘බී’ කාණඩය යටතේ තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම වන්නේ බංග්ලාදේශයයි.

ඉන්දියාව සහ පාකිස්තානය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර මෙම මස 20 වැනිදා ඕමානයේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගන්නා කණ්ඩායමද ‘ඒ’ කාණඩය යටතේ තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත.

තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, සිංගප්පූරුව සහ හොං කොං දේශය තරග වැදීමට නියමිතය.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව තරග වදින අතර මූලික වටය  අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල ශූරයන් සහ අනු ශූරයන් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත. එහිදී ලීග් ක්‍රමට අනුව තරග පැවැත්වෙන අතර ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට පිවිසෙනු ඇත.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද, මේ වන විට රටතුළ පවතින අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යෑමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කළේය.

කෙසේ වුවත් ශ්‍රි ලංකාව තවදුරටත් තරගාවලියේ සත්කාරකයන් ලෙස කටයුතු කරන අතර ඔවුන් එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය සමග එක්ව තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවනු ඇත.

තරගාවලිය සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී සියලු තරග රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට තරග ආරම්භ වීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.