Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විලියම්සන් - නිකොල්ස් ශ්‍රී ලංකාවට තලති
වෙලිංටන් ටෙස්ට් තරගය

විලියම්සන් - නිකොල්ස් ශ්‍රී ලංකාවට තලති

editorial - 2023 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ද්විත්ව ශතක දෙකකින් නවසීලන්ත ඉනිම සවිමත් කළ කේන් විලියම්සන් (215) සහ හෙන්රි නිකොල්ස් (නොදැවී 200) වෙලිංටන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරු තත්ත්වයකට ඇද දැමූහ. ද්විත්ව ශතක දෙක හේතුවෙන් නවසීලන්තය සිය මුල් ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබාගැනීමෙන් පසුව ඉනිම අත්හිටුවන ලදි.

ශ්‍රී ලංකාවේ තුවාලයට ලුණු ඉසිමින් පන්දු යැවූ මැතිව් හෙන්රි සහ ඩග් බ්‍රේස්වෙල් දෙදෙනා ලකුණු 18 ක් තුළ ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ අඩියකට ඇද දැමූහ. තරගයේ දෙවැනි දිනය වන අද (18 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටියේය.

පළමු ටෙස්ට් තරගයේදීත් ශතකයක් ලබාගත් කේන් විලියම්සන් අද තේ පානය වන විට නොදැවී ලකුණු 189 ක් ලබා, ද්විත්ව ශතකයට අත පොවන දුරින් සිටියේය. විලියම්සන් සමගින් ඒ වන විටත් ලකුණු 325 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා සිටි නිකොල්ස් (නොදැවී 130) තේ පානය සඳහා ක්‍රීඩාගාරයට ගියේ නවසීලන්තයේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 443 ක් ලෙසින් සටහන් කරමිනි.

බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ තණකොළ බහුලව තිබුණත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එයින් කිසිම වාසියක් ලබාගැනීමට අපොහොසත් වූහ. පිට පිටම තුන්වැනි ටෙස්ට් ශතකයත් සම්පූර්ණ කළ විලියම්සන්, නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 කඩයිම පසුකළ පළමු පිතිකරුවා ලෙසින් ක්‍රිකට් වාර්තා පොතට එක්විය.

මෙම 32 හැවිරිදි පිතිකරුවා, සති දෙකකට කලින්, එංගලන්තය එක ලකුණකින් පරාජය කළ ටෙස්ට් තරගයේදී මෙන්ම පසුගිය සතියේදී අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාව පරාජය කළ තරගයේදීත් ශතක ලබාගත්තේය. තවමත් වයස ඔහුගේ පැත්තේ සිටින බැවින්, විලියම්සන්ගේ ටෙස්ට් තරග දිවිය නිමාවේදී ඔහු ලකුණු කොපමණ සංඛ්‍යාවක් ලබාගනු ඇත්ද යන්න පිළිබඳව පවතින්නේ විශාල කුකුසකි.

අද ලබාගත් ද්විත්ව ශතකය විලියම්සන්ගේ පස්වැනි ටෙස්ට් ද්විත්ව ශතකයයි.

ඊයේ ක්‍රීඩාව නතර කරන විට ලකුණු 18 ක් ලබා  සිටි හෙන්රි නිකොල්ස්, ශ්‍රී ලංකා පන්ද යවන්නන් කෙරේ කිසිම අනුකම්පා සහගත බවක් නොපෙන්වාම තම ද්විත්ව ශතකය කරා පියමං කළේය. එය ඔහුගේ 9 වැනි ටෙස්ට් ශතකයයි. සිය අවසන් ටෙස්ට් ඉනිම 15 දීම ලකුණු 40 සීමාව පසුකර යාමට අපොහොසත් වූ නිකොල්ස්, අද ලකුණු 92 ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරිය හමුවේ පහසු උඩපන්දුවක් දුන් නමුත් පන්දු යවන්නා එය අතහැරියේය. එයින් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිය මංගල ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය.

දිවා ආහාරයෙන් පසුව කසුන් රාජිතගේ වම් උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු පන්දු යැවීමෙන් වැළකී සිටියේය.


අදහස් (0)

විලියම්සන් - නිකොල්ස් ශ්‍රී ලංකාවට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.