Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර පහක උත්සාහයේ අග්‍ර ඵලය

වසර පහක උත්සාහයේ අග්‍ර ඵලය

editorial - 2021 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර පහක් තිස්සේ කළ උත්සාහයක අග්‍ර ඵලය එය විය. ඒ 2014 විස්සයි-20 ලෝක කුසලාන දිනාගැනීමයි. 

බංග්ලාදේශයේදී පැවැති 2014 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 10 දෙනාගේ වටයේදී එංගලන්තය හමුවේ පමණක් පරාජය වූ ශ්‍රී ලංකාව, එහි සෙසු තරගවලදී දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ නෙදර්ලන්තය පරාජය කරමින් අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකර ගත්තේය.

කුසල් පෙරේරාගේ (61) වේගවත් පිතිහරඹය හේතුවෙන් පළමු තරගයේදී කඩුලු 5 කින් දකුණු අප්‍රිකානුවන් පරාජය කළ ශ්‍රී ලංකාව, දෙවැනි තරගයේදී නෙදර්ලන්ත පිල ලකුණු 39 කට සිමා කරමින් වාර්තාවක්ද පිහිටුවීය.

   ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය
   වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට
   අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි
   ඩිල් ස්කූප් පහරේ උපත
  හේරත් වමතින් නවසීලන්තයම කරකවයි
   මහේල කසකාරයාගේ භූමිකාවට පිවිසෙයි
   අපරාජිත කණ්ඩායමක බලාපොරොත්තු කඩවී

තෙවැනි තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 189 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුවද, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් ඇලෙක්ස් හේල්ස් (නොදැවී 116) එම තරගයේදී ශ්‍රී ලංකාවට අමතක නොවන පරාජයක් උරුම කර දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති සුපිරි 10 දෙනාගේ වටයයේ අවසන් තරගය ඉතා තීරණාත්මක තරගයක් බවට පත්විය. 

ඒ වන විට කණ්ඩායම් දෙකම තරග 3 කට බැගින් සහභාගි වී ජයග්‍රහණ 2 ක් සහ පරාජයක් බැගින් ලබා සිටීම හේතුවෙන් එම තරගය අර්ධ අවසන් පූර්ව තරගයක ස්වරූපයක් ගත්තේය.

කෙසේ වුවත් රංගන හේරත්ගේ (03/5) විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් නවසීලන්තයට ‍එරෙහිව ලකුණු 59 ක් ජයක් ලැබූ ශ්‍රි ලංකා කණ්ඩායම පළමු කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසි ‍බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්විය.  2012 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී කොදෙව්වන් හමුවේ ලද පරාජයේ අමිහිරි මතකයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයට අවතීර්ණ විය. 

කුසල් පෙරේරාගේ (26) සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ (39) සාර්ථක ආරම්භයත්, ළහිරු තිරිමාන්නගේ (44) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (40) වේගවත් පිතිහරඹයත් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ කොදෙව්වන්ට එරෙහිව ලකුණු 160 ක් රැස්කළහ. 
කොදෙව් පිල ලකුණු 161 ක ඉලක්කයක් කරා යද්දී ඇතිවූ  වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලකුණු 80 කට කොදෙව් ඉනිමේ කඩුලු 4 ක් බිඳහෙලා තිබිණ. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව අවසන් පූර්ව තරගයේදී ලකුණු 27 කින් කොදෙව්වන් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ,  අවසන් මහ තරගයේ ස්ථානය වෙන්කරවා ගත්‍හ.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 6 ක් ලැබූ ඉන්දියාව අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදීම සඳහා අවස්ථාව උදාකර ගත්තේය‍. 2007 ‍විස්සයි20 ලෝක කුසලාන දිනාගැනීමෙන් අනතුරුව ඉන්දියාව ‍‍විස්සයි20 ලෝක කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව එය වුවත්, 2009 සහ 2012 ‍‍විස්සයි20 ලෝක කුසලාන තරගාවලිවල අනු ශූරතාව දිනා සිටි ශ්‍රී ලංකාවට යළිත් වරක් අවසන් මහ තරගයකට ක්‍රීඩා කිරීම අමුත්තක් නොවීය.

 අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කර සිටියේය. ඉන්දියාව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් පසුව එම ලකුණු සංඛ්‍යාව හඹායෑමේ අරමුණින් ඔහු එම තීරණය ගෙන තිබිණ. මාලිංගගේ තීරණයට සාධාරණයක් ඉටුකළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ, නම් දැරූ පිතිකරුවන් රැසකගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 130 කට සීමා කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදී අජින්ක්‍යා රහනේගේ (3) කඩුල්ල බිඳ දැමීමට ඇන්‍ජලෝ මැතිව්ස් සමත් විය. රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ සචිත්‍ර සේනානායක අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 26 කදී ලබා සිටියේ ලකුණු 29 ක් පමණි. ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස සැලකෙන යුවරාජ් සිං පන්දු 21 කදී ලකුණු 11 ක්  ලබා සිටියදී දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමිනි.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන වේගයෙන් ලකුණු රැස්කළ කළ විරාට් කෝලි, පන්දු 58 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 77 ක් ලබාගත් අතර ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී යෑමකට හසු විය. කෙසේ වුවත් කෝලි මෙන්ම නායක මහේන්ද්‍ර සිං දෝනිද අවසන් ඕවර කිහිපයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ මුළු මුනින්ම පරාජයට පත්විය. කුලසේකර සහ මාලිංග වයිඩ් රේඛාවට ආසන්නයේ යෝකර් පන්දු යොමුකරමින් ඉන්දීය පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 5 කට දැවී ගියේය. එහෙත් දැවැන්ත පහර කරා නොග‍ොස් කෙටි ලකුණු සඳහා පැති මාරුකරගත් තිලකරන්ත ඩිල්ෂාන් (18) සහ මහේල ජයවර්ධන (24) ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළහ. ඔවුන් දෙදෙනාගේම ඉනිම්වලට හතරේ පහර 4 බැගින් ඇතුළත් විය‍.  

තරගාවලිය පුරා ලකුණු අතර නොසිටි නමුත් අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට පැමිණි කුමාර් සංගක්කාර, අවසන් තරගයේදී තරග දිනවන ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කළේය‍. ලකුණු 78 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී තිසර පෙරේරා (නොදැවී 23) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 56 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමටද සංගක්කාර සමත් විය.

තරගය ජයගැනීම සඳහා අවසන් ඕවර 3 තුළදී ලකුණු 12 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. රවිචන්ද්‍රන් අෂ්වින් යැවූ 18 වැනි ඕවරයේ පළමු පන්දු 2 ම හතරේ සීමාව කරා යැවූ සංගක්කාර, සිවුවැනි පන්දුවේදී එක් ලකුණක් ලබාගනිමින් ජයග්‍රහණය සනිටුහන් කිරීමේ අවස්ථාව තිසරට ලබාදුන්නේය. ලද අවස්ථාවෙන් නිසි ඵළ නෙළාගත් තිසර, පස්වැනි පන්දුව පන්දු යවන්නාගේ හිසට ඉහළින් ගුවන්ගත කරමින් ලෝක කුසලානයක පිපාසයෙන් සිටි ශ්‍රී ලංකාවට ජයපැන් බීමේ අවස්ථාව සළසා දුන්නේය‍.

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 4 කට 130
(රෝහිත් ශර්මා 29, විරාට් කෝලි ‍77,  යුවරාජ් සිං 11)

ශ්‍රී ලංකාව - ඕවර 17.5 කදී කඩුලු 4 කට 134
(තිලකරත්න ඩිල්ෂාන් 18, මහේල ජයවර්ධන 24, කුමර් සංගක්කාර නොදැවී 52, තිසර පෙරේරා නොදැවී 23)

සැකසුම - ශානුක අරවින්ද

 
 

අදහස් (0)

වසර පහක උත්සාහයේ අග්‍ර ඵලය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.