Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ණභේදවාදයෙන් රැකගත් ලෝක කුසලානය

වර්ණභේදවාදයෙන් රැකගත් ලෝක කුසලානය

editorial - 2019 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : අනිල් කරුණාරත්න)

රග්බි ලෝක ශූරයන් වන දකුණු අප්‍රිකානු (ස්ප්‍රිංබොක්ස්) කණ්ඩායමේ ජාතික සංචාරය බ්‍රහස්පතින්දා ආරම්භ විය. මෙම සංචාරයේදී ඔවුන්ගේ පළමු ගමානාන්තය වූයේ ජොහැන්නස්බර්ග් නුවර ආසන්නයේ පිහිටි සොවේටෝ නගරයයි.

මීට බොහෝ කලකට පෙරදී නම් දකුණු අප්‍රිකානු රගර් කණ්ඩායම සොවේටෝ වැසියන්ගේ මහත් වෛරයට පාත්‍ර වී තිබුණි.

මීට දශක තුනකට පමණ පෙර සුදු ජාතිකයන්ගේ වර්ණභේදවාදී පාලනයට විරුද්ධව සොවේටෝ වාසීන් කෲර ලෙස සටන් වැදුණු අතර, එකළ බොහෝ දෙනෙකු දකුණු අප්‍රිිකානු ජාතික රගර් කණ්ඩායම දුටුවේ අප්‍රිකානර් ආක්‍රමණයේ සළකුණ ලෙසිනි.

“සොවේටෝ වැසියන් නිතරම කියපු දෙයක් තමයි ස්ප්‍රිංබොක්ස් කණ්ඩායම කියන්නේ දකුණු අප්‍රිකාව පාලනය කරපු ජාතික පක්ෂය කියලා” යනුවෙන් පවසන්නේ විශ්‍රාමික ගුරුවරයෙකු මෙන්ම දීර්ඝ කාලීන සොවේටෝ පදිංචිකරුවෙකුද වන බොන්ගානි ඩිලාමිනි ය.

“කළු ජාතිකයෝ ජාතික රග්බි කණ්ඩායම දැක්කේ අප්‍රිකානු සුදු ජාතිකයන්ගේ බලයේ සංකේතයක් විදිහටයි. ඉතින් ඔවුන් ස්ප්‍රිංබොක්ස්ලට අවමන් කළා”

“අද සොවේටෝ ජාතිකයන්ගෙන් බහුතරයක් දෙනා ස්ප්‍රිංබොක්ස් ටී ෂර්ට් ඇඳගෙන යන්නේ හරිම ආඩම්බරෙන්. ඒත් මීට අවුරුදු 30 කට විතර කලින් කවුරුහරි මෝඩයෙක් ඒ වගේ වැඩක් කළානම් එයාගේ ජීවිතය පවා නැති වෙන්න තිබ්බා”

“ඒ අතින් බැලුවම ස්ප්‍රිංග්බොක්ස් කණ්ඩායම නෙල්සන් මැන්ඩෙලාට ණය ගැතියි. ඔහු තමයි රග්බි කණ්ඩායම ගැන හිතන විදිහ වෙනස් කළේ”

බ්‍රහස්පතින්දා දිනයේ වහළය නිරාවරණය කළ බස් රියක නැගී සොවේටෝ වෙත පැමිණි ස්ප්‍රිංග් බොක්ස් කණ්ඩායමට ඩිලාමිනිත් ඔල්වරසන් දුන්නේය. තවත් දහස් ගණනක් එළෙසම කළහ.

“මිනිස්සු පළවෙනියටම ආදරය කරපු ක්‍රීඩාව තමා පාපන්දු. රටේ ප්‍රසිද්ධම කණ්ඩායම් දෙකක් (කයිසර් චීෆ්ස් සහ ඔර්ලැන්ඩෝ පයිරේට්ස්) සොවේටෝ ගම්මානය ආශ්‍රිතව ආරම්භ වූ ඒවා”

“ඒත් රග්බි ක්‍රීඩාව ගැන වර්ථමානයේදී තරම් වෙන කිසිම කාලයක උනන්දුවක් ඇති වුණේ නැහැ. ස්ප්‍රිංබොක්ස් කණ්ඩායම සාර්ථක වෙලා අපි බලාපොරොත්තුවක් දෙන කොට අපේ ජාතික පාපන්දු සහ ක්‍රිකට් කණ්ඩායම් අපිව පහළට ඇදලා දැම්මා”

“මට ඕනේ මේ තත්ත්වය දිගටම තියෙනවා දකින්නයි. කළු ජාතික ක්‍රීඩකයන්ටත් එක සමානව අවස්ථා දෙන්න ඕනේ. අපි හැමෝම ඉල්ලන්නේ ඒක. අපිට ඕනේ සාධාරණ තේරීමක් මිසක්, වාර්ගික කෝටා ක්‍රමයක් නෙමෙයි” යයි කළු අප්‍රිකානුවෝ කියති.

“අවසන් මහා තරගයේ ඉඳලා නායකයා (සියා කොලිසි) සහ පුහුණුකරු (රාසි ඉරැස්මස්) බුද්ධිමත්ව කතා කළා. අපේ දේශපානඥයන් ඒවට ඇහුම් කන් දෙත්වා කියලා මම යාඥා කරනවා”

1994 වසරේදී දකුණු අප්‍රිකාවේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් ජනාධිපතිවරයා බවට තේරී පත්වීමෙන් මාස කිහිපයක් යන විට ස්ප්‍රිංබොක්ස් නාමය සහ සළකුණු සාර්ථක ලෙසින් ආරක්ෂා කරගැනීමට නෙල්සන් මැන්ඩෙලාට හැකිවිය. එවකට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රධානීන්ට වුවමනා වූයේ දශක ගණනක් පැරැණි නම සහ පැන පැන යන ස්ප්‍රිංබොක් මුවාගේ ලාංඡනය ඉවත් කිරීමටය. ඊට හේතුව රටේ වාර්ගික ඉතිහාසයයි.

1891 වසරේදී පළමු වරට ක්‍රීඩා කළදා පටන් වසර 90 ක කාලයක් යන තුරු දකුණු අප්‍රිකානු ජාතික රග්බි කණ්ඩායමට තෝරාගත්තේ සුදු ජාතිකයන් පමණකි.

කළු ජාතික ක්‍රීඩකයන් කාණ්ඩ හතක් යටතේ බෙදා වෙන් කර තිබූ අතර, කළු අප්‍රිකානුවන් සහ වර්ණ (මිශ්‍ර ජාතීන්) ලෙසින් පැවැති මෙම ලීගයන්ට ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වීමට අවසර ලැබුණේ නැත.
වර්ණභේදවාදයෙන් බෙදී වෙන්වී සිටි සියලු දකුණු අප්‍රිකානුවන් එක්සත් කිරීමට මහත් වෙහෙසක් ගත් හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා 1995 වසරේදී දකුණු අප්‍රිකාවේදී පැවැති රග්බි ලෝක ශූරතාවලියට තරග කළ ස්ප්‍රිංබොක්ස් කණ්ඩායමට සහාය දැක්වීය.

ඔහුගේ මෙම සූදුව අති සාර්ථක වූ අතර, 1995 අවසන් මහා තරගයේදී ජන්ම වෛරක්කාරයන් වූ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව 15-12 ක් ලෙසින් ජය ලබමින් ස්ප්‍රිංබොක්ස් කණ්ඩායම ලෝක කුසලාන දිනාගත්තේ ජොහැන්නස්බර්ග් නුවර එලිස් උද්‍යාන ක්‍රීඩාංගණයට රැස්වූ 63,000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් බලාසිටියදීය.

එදා ස්ප්‍රිංබොක්ස් නායක ෆ්‍රැන්කොයිස් පීනාර් ඇඳ සිටි ටීෂර්ටයට සමාන ජර්සියකින් සැරසී සිටි ජනාධිපති මැන්ඩෙලා ක්‍රීඩාංගණයට පැමිණෙන විට සුදු ජාතිකයන් බහුතරයකගෙන් සැදුම් ලත් ප්‍රේක්ෂකයෝ “නෙල්සන් !, නෙල්සන් !!, නෙල්සන් !!!” යනුවෙන් ඔල්වරසන් දුන්හ.

අවසන් මහ තරගයට ක්‍රීඩා කළ පළමු වතාවේදීම ලෝක කුසලානය දිනාගත්තද ස්ප්‍රිංබොක්ස් කණ්ඩායම තුළ වාර්ගික සමතුලිත භාවයක් ඇති කරන ලෙසට මැන්ඩෙලාගෙන් සහ රජයේ ඇමැතිවරුන්ගෙන් කෙරුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.

මැන්ඩෙලාට අවශ්‍ය වූයේ රග්බි දස්කම් අතින් වාර්ගික සමතුලිතතාව ඇතිවන තුරු කණ්ඩායම ජයග්‍රාහීව ඉදිරියට ගෙන යාමයි. 1995 දී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට ඇතුළත් වූයේ එක් කළු ජාතික ක්‍රීඩකයෙක් පමණකි. ඒ මීට  මාස දෙකකට පමණ පෙර මියගිය චෙස්ටර් විලියම්ස්ය. 2007 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට ඇතුළත් වූයේ ජේ.පී පීටර්සන් සහ බ්‍රයන් හබානා පමණකි.

මිශ්‍ර ජාතිකයකු වූ බ්‍රයන් හබානා රග්බි ලෝකයේ සදාතනික වීරයෙකි. එහෙත් වසර ගණනාවක් යන විට කළු ක්‍රීඩකයන් පසුපස ස්ථාන දෙකක් සඳහා පමණක් යොදා ගත්තත්, කළු ක්‍රීඩකයන්ට ඉදිරිපෙළ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.

අවසානයේදී තරග 117 කට ක්‍රීඩා කර පසුගිය සතියේදී විශ්‍රාම ගත් තෙන්ඩායි හෙවත් ‘ද බීස්ට්’ එම්ටාවාරිරා, මහත් උත්සාහයෙන් පසුව කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගත්තත් කණ්ඩායමේ ජනවාර්ගික පරිණාමය තවමත් සිදුවන්නේ අතිශය මන්දගාමීවය.

දකුණු අප්‍රිකාවේ ජනගහණයෙන් 90% ක් කළු ජාතිකයන් සිටියත් ඒ බව රග්බි කණ්ඩායමෙන් නිරූපනය නොවන තත්ත්වයක් තිබියදීත්, රටේ පළමු කළු ජාතික පුහුණුකරුවන් දෙදෙනා වන පීටර් ඩිවිලියර්ස් සහ ඇලිස්ටර් කොඑට්සී පවා එම තත්ත්වය වෙනස් කළේ නැත.

කොඑට්සීගෙන් පසුව සුදු ජාතිකයකු මෙන්ම ස්ප්‍රිංබොක්ස් පිලේ හිටපු ඉදිරිපෙළ ක්‍රීඩකයෙකුද වන ඉරැස්මස් පුහුණුකරු තනතුරට පත්වූ අතර, කළු ක්‍රීඩකයන්ටත් සමාන අවස්ථා ලබාදිය යුතු බවට ඉල්ලීම් එන විට ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ “කතා කර කර ඉන්නේ නැතිව වැඩ කරමු” යනුවෙනි.

ජපානයේ පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී 32-12 ක් ලෙසින් එංගලන්තය පරදවමින් ජයග්‍රහණය කණ්ඩායමේ නායක කොලිසි කළු ජාතිකයෙකු වූ අතර, ඔහුට අමතරව තවත් කළු ජාතික ක්‍රීඩකයෝ පස් දෙනෙක් දකුණු අප්‍රිකානු ස්පිංබොක්ස් කණ්ඩායමේ සිටියහ. තවත් එක් කළු ක්‍රීඩකයෙක් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් බංකුවේ වාඩි වී සිටි අතර, ඒ අනුව අවසන් මහා තරගයට සහභාගි වූ 23 දෙනෙකුගෙන් යුතු සංචිතයෙන් කළු ජාතිකයන් සිටියේ 7 දෙනෙකු පමණකි.

දකුණ අප්‍රිකානු කණ්ඩායමට කළු ජාතික ක්‍රීඩකයන් 11 දෙනෙකු ඇතුළත් කරගන්නා බවට එරට රග්බි සංගමය රජයට පොරොන්දු වී ඇතත්, සමේ වර්ණය තවදුරටත් කණ්ඩායමට ගැටළුවක් නොවන බවට ඉරැස්මස් නැවත වරක් මතක් කරදී තිබේ. 1995 සහ 2007 ලෝක කුසලාන ජයග්‍රහණය හරහා විශාල කීර්තියක් හිමිකරගෙන සිටින ඉරැස්මස් පසුගියදා සිය 47 වැනි උපන් දිනය සැමරීය.

“හමේ වර්ණය කළු වුණත්, සුදු වුණත්, විවිධ ආගම් සහ විශ්වාසයන් ඇදහූවත්, ඒ සියලු දෙනාම එකට එක්වී මෙය හරියට කරනවා දකින්නයි මට ඕනේ” යැයි ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව දකුණු අප්‍රිකාවට පැමිණ විනාඩි කිහිපයකට පසුව ඉරැස්මස් පැවැසීය.


(ඒ.එෆ්.පී. ඇසුරෙනි)


අදහස් (0)

වර්ණභේදවාදයෙන් රැකගත් ලෝක කුසලානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.