Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි ක්‍රීඩාව පවත්වාගෙන යන්න කෝටි 22 ක් ඉල්ලයි

රග්බි ක්‍රීඩාව පවත්වාගෙන යන්න කෝටි 22 ක් ඉල්ලයි

යොහාන් භාසුර - 2021 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිමාවූ වසරේදී පැවැති  ‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් මේ වසරේ (2021) ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය රුපියල් 22,69,47,299 ක් හෙවත් රුපියල් කෝටි විසිදෙක හමාරකට අධික මුදලක් ඇස්තමේන්තු කර තිබේ. ශ්‍රී ලංකා රග්බි සංගමය, රුපියල් මිලියන 226 කට වැඩි, මෙම ඇස්තමේන්තු වියදම ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබාගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ.

ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුව අනුව 2021 වසරේ දිනයක් සඳහා අපේක්‍ෂිත වියදම 621,773.42 ක් හෙවත් රුපියල් ලක්ෂ 6 ඉක්මවන්නකි.

මෙම ඇස්තමේන්තුවට රග්බි පරිපාලන වියදම්, සංචිත පවත්වාගෙන යෑම, ක්‍රීඩා සමාජවලට ප්‍රදානය කිරීම්, පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන්, දේශීය සහ ජාත්‍යන්තර රග්බි තරගාවලි සංවිධානය කිරීම ඇතුළු අංශ ඇතුළත් වේ. මෙහිදී වැඩිම වියදම ලෙස අන්තර් සමාජ පිරිමි සහ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලි සඳහා රුපියල් 40,981,400 ක් හෙවත් රුපියල් කෝටි 4 කට අධික මුදලක් වෙන්කර තිබේ.

ජාතික පිරිමි රග්බි සංචිතය පවත්වාගෙන යෑම සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් 28,975,350 ක් හෙවත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදල දෙවැනි ඉහළතම වියදම් අයිතමය වේ.

ශ්‍රී ලංකාවේදී ලබන වසර අගදී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි තරගාවලිය සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් (රු. 12,942,740) මෙම ඇස්තමේන්තුවට ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතාගෙන් මෙම ඇස්තමේන්තුව පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ 2021 වසරේ ද ‘කොවිඞ් 19’ අවදානම ශ්‍රී ලංකාවේ පවතිනු ඇති බවට පුරෝකථනය කර මෙම ඇස්තමේන්තුව සකස්කර ඇති බවයි.
“මෙහි වැඩි වියදම තියෙන්නෙ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලි සඳහායි. සත් සාමාජික රග්බි තරගාවලි පහක් පැවැත්වෙනවා. ඉන් තරගාවලි දෙකක් හෝ තුනක් කොළඹින් පිට පැවැත්වෙනවා. මහනුවර සහ ගාල්ලේ තරගාවලි පවත්වන්න සැළසුම් කරලා තියෙනවා”

“පිට පළාත්වල තරගාවලි පවත්වනවා නම් හෝටල් සහ ප්‍රවාහන පහසුකම් ආදි අමතර බොහෝ පහසුකම් සපයන්න වෙනවා. ඒ නිසයි එහි වියදම ඉහළ ගියේ”
“මෙහිදී ජාත්‍යන්තර තරගාවලිය පවත්වන්නේ නිරෝධායන නීතිරීතිවලට අනුව යන උපකල්පනය මත තමයි ඇස්තමේන්තු වියදම් සකස් කරලා තියෙන්නේ. කොවිඞ් 19 අවදානම් තත්ත්වය නැති වුණොත් වියදම් ගොඩක් අඩුවෙනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම රග්බි තරගාවලිය වන ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලිය සඳහා රුපියල් මිලියන 7 ක (රු. 7,034,000) මුදලක් පමණක් ඇස්තමේන්තු කර තිබේ.  කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රධානම රග්බි තරගාවලිය වන ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලිය අනුග්‍රාහක සමාගම වන ඩයලොග් ආසියාට සමාගමෙන් කරන ලද විමසීමකදී දැනගත හැකිවූයේ 2019 රග්බි තරගාවලිය සහ 2020 රග්බි තරගාවලිය වෙනුවෙන් රුපියල් මිලියන 30 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ගෙවා අවසන් කර ඇති බවයි.


 


අදහස් (0)

රග්බි ක්‍රීඩාව පවත්වාගෙන යන්න කෝටි 22 ක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.