Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2022 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 143 වැනි ‘නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය අද (23 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබූ සාන්ත තෝමසුවෝ මෙවර තරගයේ වැඩි ගෞරව දිනාගත්හ.

ලකුණු 23 ක වාසියක් සමගින් ‍දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත තෝමස් විදුහල, තරගය නිමාවට පත්වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 142 ක් ලබා සිටියේය. එහිදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ රයන් ප්‍රනාන්දු හතරේ පහර 10 ක් සමග ලකුණු 74 ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 23 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී මුයිස් නෞෂාන් (11) සමග එක්ව ‍සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රයන්, ඉන් නොනැවතී සෙනෙෂ් හෙට්ටිආරච්චි (26) සමග එක්ව ‍පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක්ද එක් ‍කළේය.

පළමු ඉනිමේදී කඩුලු 3 ක් දවාගත් රාජකීය විදුහල් කණ්ඩායමේ නායක ගිෂාන් බාලසූරිය, දෙවැනි ඉනිමේදීද දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 56 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. සාන්ත තෝමස් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සදිෂ රාජපක්ෂ ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගත්තේය.

දෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටි රාජකීය විදුහල, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 83 ක් එක්කර ගත්තේය. එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ උවිඳු වීරසේකර ලකුණු 66 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි.

රමිරු පෙරේරා හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද, සන්දේෂ් රාමනායක හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් රාජකීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිඳු ඩයස් එහිදි කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ ප්‍රතිවාදීන්ට ලකුණු 65 ක් ලබාදෙමිනි. 

කාසියේ වාසිය දිනූ රාජකීය විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමසුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 242 ක් ලබාගත්හ. එහිදී සෙනෙෂ් හෙට්ටිආරච්චි (55) සහ චාරුක පීරිස් (51) සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

සාන්ත තෝමස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 242
(සේනාධි බුලන්කුලම 18, ජනිඳු අබේගුණවර්ධන 28, රයන් ප්‍රනාන්දු 18, සෙනෙෂ් හෙට්ටිආරච්චි 55, චාරුක පීරිස් 51, මලිත් පෙරේරා 33, ගිෂාන් බාලසූරිය 56/3, රමිරු පෙරේරා 36/2)

රාජකීය පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 219
(සිනෙත් ජයවර්ධන 32, උවිඳු වීරසේකර 66, දසිස් මංචනායක 17, රමිරු පෙරේරා 34, නිතිල් පනාපිටිය 27, සන්දේෂ් රාමනායක 21, කවිඳු ඩයස් 65/4, ගුණරත්නම් කැනිස්ටන් 67/2)

සාන්ත තෝමස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 142
(රයන් ප්‍රනාන්දු 74, සෙනෙෂ් හෙට්ටිආරච්චි 26, ගිෂාන් බාලසූරිය 56/3, සදිෂ රාජපක්ෂ 30/2)


අදහස් (0)

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.