Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් නම්වූ දිව්‍යමය අනුප්‍රාණය

ක්‍රිකට් නම්වූ දිව්‍යමය අනුප්‍රාණය

editorial - 2022 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)   
දශක තුනකට පසුව මව්බිමේදීම පැවැති එක්දින තරගාවලියකදී, ඕස්ට්‍රේලියානුවන් පරාජය කරමින් ලබාගත් ජයග්‍රහණයේ සතුට සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම බව නායක දසුන් ශානක කියයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති සිව්වැනි එක්දින තරගයේදී ලැබූ ලකුණු 4 ක ජයත් සමගින්, වසර 30 කට පසුව ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියකදී ඕස්ට්‍රේලියානුවෝ පරාජය වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියකදී, ඕස්ට්‍රේලියාව පරදවා ජයගත්තේ 1992 දීය. එදා පළමු තරයේදී, ජව සම්පන්න වේග පන්දු යවන්නා වූ ක්‍රෙග් මැක්ඩමොට්ගේ (වත්මන් පිතිකරු බෙන්ජමින් මැක්ඩමොට්ගේ පියා) අවසන් ඕවරයේදී ලකුණු 20 ක් ලබාගත් නායක අර්ජුන රණතුංග (නොදැවී 45), තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-1 ක ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියේය.

එයින් වසර 30 කට පසුව, ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදී සිටියදීත්, මෙතෙක් පැවැති සීමිත ඕවර තරග හතම නැරඹීම සඳහා ක්‍රීඩාංගණ පිරී ඉතිරී යන්නට තරම් ක්‍රීඩා ලෝලීහු පැමිණියහ. තවත් පිරිසක් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ ඖෂධ පෝලිම් වල සිටිමින්ම, සිය ජංගම දුරකතනයෙන් හෝ තරග නැරඹූහ. මේ වනවිට ජීවිතයේ දරුණු අර්බුදකාරී යුගයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවාසීන්ට සතුට රැගෙන ආවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි. දසුන් ශානකගේ සගයින් රෑනයි.

“මේ ජයග්‍රහණය මට විතරක් නෙම්, මගේ කණ්ඩායම් සාමාජිකයන්ටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගේම සමස්ත ශ්‍රී ලංකාවටත් මේ මොහොතේ මහමෙරක් තරම් වටිනවා”

“මා හිතන්නේ මේ ජයග්‍රහණය වෙනුවෙන්, සමස්ත ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනාම, එකා වගේ සතුටින් උද්දාමයට පත්විය යුතුයි” යයි දසුන් ශානක අඟහරුවාදා ජයග්‍රහණයෙන් පසුව පැවසීය.

සිව්වැනි එක්දින තරගයේ ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලියේදී 3-1 ක් ලෙසින් පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වූයේය. දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත ද්වි පාර්ශ්වික එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාවද මෙයයි.


50 වැනි ඕවරය
“චාමික 49 වැනි ඕවරය යැව්වාට පස්සේ අපි කතා කළා ඊළඟට දඟපන්දු යවන්නකු යොදා ගනිමු කියලා. ඒත් මමම අභියෝගය බාරගන්න තීරණය කළා” යයි  දසුන් කීවේය.

අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍යව තිබුණේ ලකුණු 19 ක් පමණි. ශ්‍රී ලංකාවට නම් එක කඩුල්ලකි.

කිසිවකු අපේක්‍ෂා නොකළ ආකාරයෙන්, අවසන්  ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනාගෙන් අයකු වූ මැතිව් කුනේමන් පන්දු 5 කදී ලකුණු 14 ක් ලබාගත්තේය. ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයට දැන් අවශ්‍යව ඇත්තේ හයේ පහරකි. නැතහොත් නිපන්දුවකට ගැසූ හතරේ පහරකි.

දසුන්ගේ අවසන් පන්දුවට කුනේමන් ගැසූ ඩ්‍රයිව් පහරකින් පන්දුව ඉහළ යද්දී, පිටියේත් ඉන් පිටතත්, එතෙරත් මෙතෙරත් විසූ, කෝටි සංඛ්‍යාත ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීහු මෙන්ම දසුන් ශානක ද ඉහළට ඇදගත් හුස්ම පහත නොහෙළා, ඒ දෙස බලා සිටියහ. අසලංක උඩපන්දුව රැකගැනීමෙන් අනතුරුව ඔව්හු සියලු දෙනාම සැනසීමෙන් හුස්ම හෙළූහ. තමන් තරගාවලිය ජයගත් බවත්, උද්දාමයට පත්විය යුතු බවත් සිහිපත් වූයේ ඉන් අනතුරුවය.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මුහුණ දුන් ඕවර 50 න්, ඕවර 43 ක්ම යවන ලද්දේ දඟ පන්දු යවන්නන් විසිනි. ඔවුන් විසින් යවන ලද පන්දු 258 න් පන්දු 139 ක්ම නිලකුණු පන්දු ලෙසින් සටහන් විය. ඒ අතරේ ධනංජය ද සිල්වාගේ (10-0-39-2) පන්දු යැවීම සුවිශේෂී වූයේ තරගය ශ්‍රී ලංකාවෙන් උදුරාගත හැකි ඩේවිඩ් වෝනර්ගේ ගමන 99 දී නිමාකළ බැවිනි.

ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් කියා සිටියේ, ලකුණු ලබාගැනීමේ වේගය අතින්, තරගයේ පාලනය තමන් අත තබාගෙන සිටියද, වැරදි මොහොතේදී කඩුලු කිහිපයක් අහිමිකරගැනීම නිසා තමන් අතින් තරගය ගිළිහී ගිය බවයි.

“මේ ලකුණු සංඛ්‍යාව (ලකුණු 259) ගන්න පුළුවන් එකක්”
“මේ වගේ දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තත්ත්වයකදී, ඉනිමක් ආරම්භ කිරීම කොයි තරම් අසීරුද කියලා අපි දන්නවා. හොඳ සම්බන්ධතාවක් අවශ්‍ය වුණ ගමන්ම අපේ කඩුල්ලක් දැවී ගියා. ඒ වගේ සුළු සුළු දේවලින් ඒගොල්ලන් හොඳ ප්‍රයෝජන ලබාගත්තා” යයි ඒරන් ෆින්ච් කීවේය.  

තරගයේ වීරයා වූ චරිත් අසලංක ඊයේ ලබාගත්තේ සිය මංගල එක්දින ශතකයයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ සමයේ සිටම දීප්තිමත් අනාගතයකට හිමිකම් පෙන්වමින් සිටි අසලංක, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේත් නායකත්වය දැරූ අයෙකි. එහෙත් කිසියම් කාරණා හේතුකොටගෙන නිසි කාලයේදී ඔහුට ජාතික කණ්ඩායමේ දොරටු විවර නොවීය.

පසුගිය වසරේදී පැවැති විස්සයි-20 තරගාවලි කිහිපයකදී අවස්ථාව ලබාගත් අසලංක, ඒ සෑම අවස්ථාවකදීම තමන්ගේ තරම පෙන්වීම සිය පිත්තට බාර කළේය.

“ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේ ඒක (ශතකයක් ලබාගැනීම) ලොකු අභියෝගයක් වුණා තමයි. ඒත් ධනංජයගේ ඉනිම මම මෙ වෙලාවේ මතක් කරන්නම ඕනේ..  එයාගේ ඉනිම මට විශාල සහනයක් වුණා. එයා හරිම නිදහසේ සෙල්ලම් කළේ.. ඒ හින්දා මටත් දිගු ඉනිමක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා” යයි අසලංක කීවේය.

ලකුණු 101 ක් වූ අසලංක - ධනංජය සම්බන්ධතාවේදී අසලංක ලබාගත්තේ ලකුණු 41 කි. ලකුණු හඹා යාම ජ්‍යෙෂ්ඨයාට බාරදුන් 24 හැවිරිදි වමත් පිතිකරුවා, හීන් සීරුවේම තමන්ගේ ගමන ගියේය.

චාමික කරුණාරත්න ස්වභාවයෙන්ම තරමක් හැඟීම් දනවන හැසිරීම් වලින් යුක්තය.
චරිත් අසලංක අවසන් උඩපන්දුව රැකගත් මොහොතේදීම පිටියේ ඈත සිට කඩුල්ල වෙත දිවගිය කරුණාරත්න, ඉන්නක් ගලවා එය වනමින්, සතුට පළකරද්දී, ක්‍රීඩාගාරයේ සිටි අනෙක් ක්‍රීඩකයෝ පිටිය මැදට දිව යමින් එකිනෙකා බදා වැළ`ඳගත්හ. 35,000 කට ආසන්න ප්‍රේක්‍ෂක පිරිස උන්මාදයෙනි.


පර්සි ගැන වෝනර් දන්නා තරම
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මෙන්ම පරිණතම දිරිගන්නවන්නා වන, පර්සි අබේසේකර මහතා වෙත පැමිණි ඩේවිඩ් වෝනර් ඔහුට අතට අත දුන්නේය.

“දිගු කාලයකින් ඔබව දැකීම සතුටක්” ඩේවිඩ් වෝනර් කීවේය.

අබේසේකර මහතාගෙන් නිහඬ, මදහසකි.
“මම සෙල්ලම් කරන්න පටන් ගන්නකොටත් ඔයා චියර් කරනවා..... තාමත් චියර් කරනවා” යයි වසර 13 ක අන්තර්ජාතික තරග දිවියකින් පසු, සිය වෘත්තීය දිවියේ අග්ගිස්සේ සිටින ඩේවිඩ් වෝනර් පැවසීය. එත් 1986 දී උපත ලද ඩේවිඩ් වෝනර් අබේසේකර මහතා ගැන දන්නා තරම එපමණකි.

අබේසේකර මහතා පළමු වතාවට සිංහ කොඩියත් රැගෙන ක්‍රිකට් පිටියට පිවිසිසෙන්නේ 1948 දී ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එවකට ලංකා කණ්ඩායමත් අතර කොළඹ ඕවල් පිටියේදී පැවැති තරගය නැරඹීමට යන්න වැඩිදෙනෙක් නොදන්නා කතාවයි.

එදා ගාල්ලේ සිට දුම්රියෙන් කොළඹට පැමිණෙන අබේසේකර මහතාව එක්කන් එන්නේ ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාය. මරදාන දුම්රියපොළේ සිට බොරැල්ලට යාමට ට්‍රෑම් කාර් රියේ සෙනඟ වැඩි වූ හෙයින් තිදෙනා පයින්ම ඕවල් පිටියට යති. ඒ අයන අතරේ අබේසේකර මහතාගේ ලොකු අයියා ඔහුට සිංහ කොඩියක් අරගෙන දෙයි.
ඒ වන විට ලංකාවට නිදහස ලැබී තිබිණ.

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එදා ලබාගත්ගේ ලකුණු 20 ක් බවත්, බී.ආර්. හයින් (ඩේවිඩ් හයින්ගේ පියා) යැවූ පන්දුවකට ආර්. එල්. ද ක්‍රෙට්සර් උඩපන්දුවක් රැකගැනීමෙන් බ්‍රැඩ්මන් දැවී ගිය බවත් අබේසේකර මහතාට තවමත් මතකය. පර්සි අබේසේකර මහතා එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ 1979 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති අයි.සී.සී. ශූරයන්ගේ තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයෙනි. ඒ වන විටත් ඩේවිඩ් වෝනර් උපත ලබා නැත.

ආරම්භයේ සිටම තමන්ට රිදෙන්නට පහර දෙතැයි අනුමාන කළ යෝධ ඕස්ටේ්‍රලියානුවන් තරග 4 ක් ඇතුළත බිමට සමතලා වී සිටින අන්දම අදහාගත නොහැකිය. තරගාවලියේ ජයග්‍රහණය විසින් සියලු දෙනාගේම එදිනෙදා ප්‍රශ්න - කරදර සියල්ලම, මොහොතකට හෝ, අකාමකා දමා තිබේ.

ක්‍රිකට්..! ඔබ සැබවින්ම ජයග්‍රාහකයෙකි.
මියගිය හදවත් යළි පණගන්වන්නටම සමත් දිව්‍යමය අනුප්‍රාණයකි.

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

ක්‍රිකට් නම්වූ දිව්‍යමය අනුප්‍රාණය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.