Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරම්භයේදීම කටාරයට නපුරු සිහිනයක්
කටාර් 2022

ආරම්භයේදීම කටාරයට නපුරු සිහිනයක්

දමින්ද විජේසූරිය - 2022 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේදීම සත්කාරක කටාර් රාජ්‍යයට “නපුරු සිහිනයක්” පෙන්වූ ඉක්වදෝර් ක්‍රීඩකයෝ ඒ කාණ්ඩයේ තරගයේදී ගෝල 2-0 ක පහසු ජයක් ලබාගත්හ. පාපන්දු ක්‍රීඩාව ගැන කයිවාරු ගසමින් සිටි කටාර් කණ්ඩායමේ දුර්වල තරග රටාව කටාරයේ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබිණ. 

ප්‍රථම අර්ධය නිමාවටත් පෙරදීම, කටාර් රාජ්‍යය ගෝල 0-2 ක් ලෙසින් පසුපසට ඇද වැටීමත් සමගින් සමාරම්භක උත්සවයේ අලංකාරය ඉක්මනින්ම සමතලා විය. තරගය අවසන් වීමට පෙරම, දහස් ගණන් වූ කටාර් පාපන්දු ලෝලීහු අල් බේට් ක්‍රීඩාංගණයෙන් පිටව ගියහ. 

සමාරම්භක උත්සවය ගැන කටාර් පුවත්පත් ප්‍රශංසා කළ නමුත් පුහුණුකරු ෆීලික්ස් සැන්චෙස්ගේ කණ්ඩායම මාධ්‍ය විසින් දැඩි ලෙස විවේචනය කරන ලදි. 

“අපේ ක්‍රීඩකයින් අවශ්‍ය පරිදි ක්‍රීඩා කළේ නෑ” යයි කටාරයේ එක් පුවත්පතක් පැවසූ අතර “අපේ ජාතික කණ්ඩායම සමාරම්භක උත්සවය විනාශ කළා” යයි තවත් පුවත් පතක් කීවේය. 

“අපේ ජාතික කණ්ඩායම, එයාලගේ දුර්වල ආරම්භයට විශාල මිලක් ගෙව්වා” යයි ‘අල් වටන්’ පුවත්පත වැඩිදුරටත් කියා තිබිණ. 
වියදමකින් තොරවම, සියලුම පහසුකම් සහ පුහුණු කිරීමේ අවස්ථා ඇතිව, වසර ගණනාවක් තිස්සේ තමන්ගේ විශිෂ්ටතම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටි ආසියානු පාපන්දු ශූරයන්ට 20 වැනි ඉරිදාව ‘දරුණු සන්ධ්‍යාවක්’ විය.

ඉක්වදෝරය, නීති විරෝධී සීමාවේ සිට ලබාගත් ගෝලයක් තහනම් කරන ලදි. එහෙත් 16 වැනි විනාඩියේදී එනර් වැලෙන්සියා සාර්ථක කරගත් දඬුවම් පහරත්, එයින් විනාඩි 15 කට පසුව වැලෙන්සියාම හිසෙන් ගැසූ පහරකින් ලබාගත් ගෝලයත් හේතුවෙන් ඉක්වදෝරය 2-0 ක් ලෙසින් ඉදිරියට ගියේය. කටාරයට අනෙක් අන්තයෙන් කිසිම තර්ජනයක් එල්ල කළ නොහැකි වූ අතර ඔවුන්ගේ එකම පහරක් හෝ ඉලක්කයට යවාගත නොහැකි විය. 

අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ඉක්වදෝරය සිටින්නේ 44 වැනි ස්ථානයේය. ඉක්වදෝරයත් කටාරයත් අතර පරතරය ශ්‍රේණිගත ස්ථාන 6 කි. එහෙත් ඊයේ රාත්‍රියේදී ඉක්වදෝරය පෙන්නුම් කළේ ඔවුන් ආසියානු ශූරයින්ට වඩා සැතපුම් ගණනාවක් ඉදිරියෙන් සිටින බවයි.

කටාර් ටි්‍රබියුන් පුවත්පත “අත්‍යලංකාර”  සමාරම්භක උත්සවය පැසසුමට ලක් කළ නමුත් කටාර් කණ්ඩායමේ “නපුරු සිහිනය” කිසිම අනුකම්පාවක් නැතිව විවේචනය කළේය. 

තරගය අවසන් වීමට පෙරම, කටාර් පාපන්දු ලෝලීන් ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියේ “ඔවුන්ට පරාජය දැකීමට නොහැකි වූ නිසා” යයි එම පුවත්පත වැඩිදුරටත් කීවේය. 

- 213


අදහස් (0)

ආරම්භයේදීම කටාරයට නපුරු සිහිනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.