Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයි.පී.එල්. බිමෙන් එංගලන්තයේ 3 ක් ඉවත්වෙති

අයි.පී.එල්. බිමෙන් එංගලන්තයේ 3 ක් ඉවත්වෙති

editorial - 2021 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිස් වෝක්ස් ...

 

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කිරීමට තවත් සතියක් පමණ තිබියදී එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකු වන ජොනී බෙයාර්ස්ටෝ, ක්‍රිස් වෝක්ස් සහ ඩේවිඩ් මලාන් පුද්ගලික හේතුන් මත අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත. එංගලන්තයේ මාධ්‍ය වාර්තාකරන පරිදි ඔවුන් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් වී ඇත්තේ එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැති පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීමට ඉන්දීය ක්‍රීඩකයන් අකමැත්ත පළකිරීමට එකට එක කිරීමක් ලෙසිනි.

පස්වැනි ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව තිබියදී ඉන්දීය පිලේ සහාය කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට කොරෝනා වයිරසය අසාදනය විය. වයිරසය කණ්ඩායම තුළ පැතිර යතැයි බියවීමෙන් පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය අවලංගු කරන ලදි.

ඒ අනුව සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ආරම්භක පිතිකරුවා ලෙස ජොනි බෙයාර්ස්ටෝ, පන්ජාබ් කිංග්ස් පිලේ මුල්පෙළ පිතිකරුවකු ලෙස ඩේවිඩ් මලාන්, දිල්ලි කැපිටල්ස් පිලේ වේග පන්දු යවනකු ලෙද ක්‍රිස් වෝක්ස්ගේ සේවය එම කණ්ඩායම් වලට අහිමිව යනු ඇත.

“ඬේවිඞ් මලාන් තරගාවලියෙන් ඉවත්වෙලා තියෙනවා. ඔහු අපට දැනුම් දුන්නා” යැයි පන්ජාබ් කිංග්ස් පිලෙහි ප්‍රධාන විධායක නිලධාරී සතිෂ් මෙනන් මහතා තහවුරු කර ඇත. ඩේවිඩ් මලාන් වෙනුවට දකුණු අප්‍රිකාවේ ඒඞ්න් මාක්‍රම් ආදේශ කර ඇත.

ජොනි බෙයාර්ස්ටෝ ඉවත් වූ පසු ඒ සඳහා සුදුසු ආදේශකයෙකු සොයමින් සිටින බව සන්රයිසස් හයිද්‍රාබාද් පිල ද තහවුරු කළේය.

එංගලන්ත කණ්ඩායමේ ඉදිරි කාර්ය බහුල තරග කාලසටහන හේතුවෙන් මෙම ක්‍රීඩකයන් තිදෙනා ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය මඟහැරීමට තීරණය කර ඇති බව ගාඩියන් පුවත්පත පවසයි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සහ අළු බඳුන තරගාවලිය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඉදිරි සති කිහිපය සිය පවුල සමගින් කාලය ගත කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.

සන්රයිසස් හයිද්‍රාබාද් පිලට අත්‍යාවශ්‍යම ක්‍රීඩකයකු වන බෙයාර්ස්ටෝ මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු අදියරේදී පැවැති තරග 7 ම ක්‍රීඩා කරමින් ලකුණු 248 ක් ලබාගත්තේය. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 41.33 කි. දිල්ලි කැපිටල් පිල සමගින් ගිවිසුම් ගතවී ඇති වෝක්ස් පළමු අදියරේදී තරග 3 කට ක්‍රීඩා කර ඇත. විස්සයි-20 පිතිරුවන් ශ්‍රේණිගත කිරීම අතින් අංක 1 විස්සයි20 ක්‍රීඩකයා වන මලාන් පන්ජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළේ එක් තරගයක් පමණි.

සිය දෙවැනි දරුවාගේ උපත හේතුවෙන් ජොස් බට්ලර් මේ වන විටත් අයි.පී.එල්. දෙවැනි අදියරෙන් ඉවත් වී සිටින අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් දීර්ඝ විවේකයක් ලබාගැනීමට තීරණය කිරීම නිසා බෙන් ස්ටෝක්ස් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන්ද ඉවත්විය. ආබාධයක් හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ පළමු අදියරෙන් ඉවත්වීමට ස්ටෝක්ස්ට සිදුවිය.

රාජස්ථාන් රෝයල්ස් පිලේ වේගපන්දු යවන්නකු වශයෙන් ජොෆ්රා ආචර් එක්වුවද ආබාධයක් හේතුවෙන් ඔහුටද අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇත. ඔහු වෙනුවට කඩුලු රකින ක්‍රීඩක ග්ලෙන් ෆිල්ප්ස් නම්කර ඇත.

අයි.පී.එල් තරඟාවලිය සඳහා එංගලන්ත ක්‍රීඩකයින් වන මොයින් අලි, සෑම් කරන්, ටොම් කරන්, ජෝර්ජ් ගාර්ටන්, ඔයින් මෝර්ගන්, ක්‍රිස් ජෝර්ඩ්න්, අදිල් රෂීඩ්, ලයාම් ලිවිංග්ස්ටන් සහ ජේසන් රෝයි එක්ව සිටිති.

ජොනී බෙයාර්ස්ටෝ...

 

- 2079


අදහස් (0)

අයි.පී.එල්. බිමෙන් එංගලන්තයේ 3 ක් ඉවත්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.