Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි

අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි

editorial - 2021 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

  වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය
   ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය
   වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට

මීට වසර 9 කට පෙර එනම් 2012 වසරේ තමන් සත්කාරකත්වය දැරූ විස්සයි20 ලෝක කුසලාන තරගාවයේදී ශ්‍රී ලංකාවට අනු ශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. එහෙත් කොදෙව්වන්ට එරෙහිව පැවැති අවසන් මහ තරගය මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති, තරගාවලියේ සමාරම්භක තරගයද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන තරගයක් බවට පත්විය.

ඒ වන විට විස්සයි20 තරගයකදී පන්දු යවන්නකු වාර්තා කර තිබූ හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කී අජන්ත මෙන්ඩිස්, තමාගේම වාර්තාව අලුත් කරමින් එම තරගයේදී ලකුණු 8 කට කඩුලු 6 ක් දවාගැනීම‍ට සමත් වීම ඊට හේතු විය. එහිදී ඔහු විසින් බිඳහෙළන ලද්දේ 2011 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 16 කට කඩුලු 6 ක් දවාගනිමින් පිහිටුවා තිබූ ඔහුගේම වාර්තාවය.

අජන්තගේ එම විශිෂ්ට පන්දු යැවීම හමුවේ සැප්තැම්බර් මස 18 වැනිදා හම්බන්තොටදී  පැවැති 2012 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 82 ක පහසු ජයක් හිමිවිය. ඊට වසර 7 කට පසු එනම් 2019 වසරේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 7 කට කඩුලු 6 ක් දවාගැනීමට ඉන්දියාවේ දීපක් චාහර් සමත්වන තෙක්ම හොඳම විස්සයි 20 පන්දු යැවීමේ වාර්තාවට මෙන්ඩිස් හිමිකම් කීවේය.

කාසි‍යේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් ටේලර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය වගකීම අකුරටම ඉටු කළහ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩිල්ෂාන් මුණවීර (17) සහ තිලකරත්න ඩිල්ෂාන් (39) ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

ඔවුන් දෙදෙනා‍ගේ සහ නායක මහේල ජයවර්ධනගේ (13) දැවීයෑම් වලින් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 82 කට කඩුලු 3 ක් බවට පත්විය. කෙසේ වුවත් කුමාර් සංගක්කර (44) සමග එක්වූ ‍ජීවන් මෙන්ඩිස් (නොදැවී 43) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 94 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබීය.

පන්දු 26 කට මුහුණදුන් සංගක්කාර හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු රැස්කළ අතර පන්දු 30 කට මුහුණදුන් ජීවන් මෙන්ඩිස් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 28 කදී ලකුණු 39 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 17.3 ක් අවසානයේ ලකුණු 100 කට සීමා කිරීමට අජන්ත මෙන්ඩිස් සහ ජීවන් මෙන්ඩිස් සුසංයෝගය සමත් විය. සිම්බාබ්වේ ඉනිමේ කඩුලු 6 ක් තමන් සතුකර ගැනීමට අජන්ත සමත් වෙද්දී, ඉතිරි කඩුලු 4 න් 3 කටම ජීවන් හිමිකම් කීවේය.

නුවන් කුලසේකරගේ සහ ලසිත් මාලිංගගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමු ඕවර 5 තුළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 36 කට සීමා වුවද, කඩුල්ලක් දවාගැනීමට වේග පන්දු යවන්නන් දෙදෙනාම අසමත් වූහ. එහෙත් 6 වැනි ඕවරයේදී පන්දුවට අතට ගත් අජන්ත මෙන්ඩිස්, එහි තෙවැනි සහ සිවුවැනි පන්දුවලදී පිට පිට කඩුලු 2 ක් දවාගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම දැඩි පීඩනයකට පත්කළේය.

යළිත් 8 වැනි ඕවරය යැවීම සඳහා පැමිණි අජන්ත, එහිදී සිය ගිණුමට තවත් කඩුල්ලක් බැර කරගත්තේ එම ඕවර නිලකුණු ඕවරයක් බවටද පත්කරමිනි. ඉනිමේ 14 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී එල්ටන් චිගම්බූරා (19) දවාගනිමින් සිය කඩුලු සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ දමාගත් ඔහු, 16 වැනි ඕවරයද නිලකුණු ඕවරයක් බවට පත්කරමින් තවත් කඩුලු 2 ක් බිඳහෙළුවේය.

ලසිත් මාලිංග විසින් යවන ලද ඉනිමේ 17 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී අතිරේක ක්‍රීඩක දිනේෂ් චන්මාල් අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රිස් මොෆූ ලකුණු නොලබා දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන වාර්තාගත පන්දු යැවීමක නිතර වූ අජන්ත මෙන්ඩිස් තරගේ වීරයා ලෙස ‍සම්මාන හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවි 182
(ඩිල්ෂාන් මුණවීර 17, තිලකරත්න ඩිල්ෂාන් 39, මහේල ජයවර්ධන 13, කුමාර් සංගක්කාර 44, ජීවන් මෙන්ඩිස් නොදැවී 43)

සිම්බාබ්වේ - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 100
(හැමිල්ටන් මසකඩ්සා 20, එල්ටන් චිගම්බූරා 19, ග්‍රේම් ක්‍රීමර් 17, අජන්ත මෙන්ඩිස් 08/6, ජීවන් මෙන්ඩිස් 24/3)


(සැකසුම - ශානුක අරවින්ද)


අදහස් (0)

අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.