Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අගමැති කුසලාන පාපන්දු තරගාවලිය නොවැ 8 දා සිට

අගමැති කුසලාන පාපන්දු තරගාවලිය නොවැ 8 දා සිට

editorial - 2021 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව සත්කාරය දරන අගමැති ‘මහින්ද රාජපක්ෂ’ කුසලාන සිව් කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ලබන නොවැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශය, මාලදිවයින සහ සී ෂෙල්ස් රාජ්‍යයන්ට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ඇරයුම් කර තිබේ.

තරගාවලිය සංවිධානය කරන ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ජයග්‍රාහී කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 30,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් හැටපන් ලක්ෂයකට (65,00,000) ආසන්න මුදලක් ප්‍රදානය කිරීමට සූදානම් වේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උපහාර පිණිස සංවිධානය කරන මෙම ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මෙතැන් සිට ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා ‘මාලේ’ නුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම තරගාවලියට ආසියානු පාපන්දු සමුළුවේ අනුමැතිය ලැබී තිබෙන බවත් එහිදී කණ්ඩායම් අත්කර ගන්නා ප්‍රතිඵල ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අතරට  ඇතුළත්කර ගන්නා බවයි.

අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වන ‘සී ෂෙල්ස්’ රාජ්‍යය මෙම තරගාවලියට ඇතුළත් කර ගැනීම පිළිබඳව ඔහු පැවසුවේ කලාපයෙන් පිටස්තර රාජ්‍යයක් ඇතුළත් කර ගැනීමෙන් ලෝක ශ්‍රේණිගත කිරීමේදී එය වඩාත් ඉහළ ප්‍රසාද ලකුණු අගයක් එක් වන බවයි. ඒ අනුව මෙම 16 වැනිදා ‘මාලේ’ නුවරදී නිමාවට පත් වන 13 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලිය නිමවා මාසයක් ඉක්ම යාමට මත්තෙන් බංග්ලාදේශය සහ මාලදිවයින යළිත් කොළඹදී මුණ ගැසීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

අගමැති කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් දකුණු ආසියානු තරගාවලිය සඳහා කැඳවූ ජාතික පාපන්දු පුහුණු සංචිතයේ ක්‍රියාකාරකම් දිගටම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පාපන්දු තීරණය කර තිබේ.

දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිහිප දෙනකු වයස 23 න් පහළ ජාතික පාපන්දු සංචිතයටද නිර්දේශවී සිටිති. එහි සේවය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජාතික පාපන්දු පුහුණුකරුවකු වන මාකෝස් ෆෙරෙයිරා මහතා ශාරීරික අභ්‍යාස පුහුණුකරු ලෙස දැනටමත් ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීම සඳහා බංග්ලාදේශය හා මාලදිවයිනෙන් නරඹන්නන් විශාල පිරිසක් මේ වනවිට ගුවන් යානා වෙන්කර ගනිමින් කොළඹට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සඳහන් කරන්නේ කොවිඩ් නිරෝධායන රෙගුලාසි යටතේ තරගාවලිය නරඹන්නන්ට විවෘත කෙරෙන බවයි.

(ඡායාරූපය - ශ්‍රී ලංකා පාපන්දු සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

අගමැති කුසලාන පාපන්දු තරගාවලිය නොවැ 8 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.