Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු පිලේ දස්කම් දියවෙයි

ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු පිලේ දස්කම් දියවෙයි

editorial - 2022 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දකුණු ආසියානු මේසපන්දු සංම්මේලනයේ සංවිධානයෙන් මාලදිවයිනේ මාලේ නුවරදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේදී කිසිදා නොවූවිරූ පරාජයන් අත්විඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූහ. 

වයස් කාණ්ඩ 4 ක් යටතේ පැවැති මෙම තරගාවලියේ කණ්ඩායම් ඉසව්වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වුවත්, එය මෙවැනි තරගාවලියකදී කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි ප්‍රතිඵලයක් බව මේසපන්දු ප්‍රවීණයෝ පවසති. 

තරගාවලියේ වැඩි දෙනාගේ අවධානය යොමුවූ වයස 19 න් පහළ බාලක කණ්ඩායම් ඉසව්වට ඉන්දීය කණ්ඩායමක් සහභාගි නොවීය. කණ්ඩායම් 5 ක් පමණක් සහභාගිවීම හේතුවෙන් එම ඉසව්වේ මූලික වටයේ තරග කාණ්ඩ 2 ක් යටතේ නොපවත්වා ලීග් ක්‍රමයට අනුව පැවැත්වීමට සංවිධායකයෝ පියවර ගත්හ.

එහිදී නේපාලයට එරෙහිව වට 3-1 කින්ද, පාකිස්තානය එරෙහිව වට 3-0 කින්ද, මාලදිවයිනට එරෙහිව වට 3-0 කින්ද ජය වාර්තා කළ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රීඩකයෝ, ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශය හමුවේ වට 3-2 ක් ලෙස පරාජයට පත්වූහ. ඉන්දීය කණ්ඩායමක් සහභාගි නොවීම හේතුවෙන් පහසුවෙන්ම එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැවැතියද, බංග්ලාදේශය හමුවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් පෙනි පෙනී රිදී පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය. 

වයස 19 න් පහළ බාලිකා කණ්ඩායම් ඉසව්වේ මූලික වටයේදී ඉන්දියාව හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, බංග්ලාදේශයට එරෙහිව වට 3-1 ක ජයක් වාර්තා කරමින් තමන් නියෝජනය කළ කාණ්ඩයේ දෙවැනියා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. එහිදී තියුණු තරගයකින් අනතුරුව වට 3-2 ක් ලෙස මාලදිවයින පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුවද, අවසන් මහ තරගයේදී යළිත් වරක් ඉන්දියාව හමුවේ වට 3-1 ක් ලෙස පරාජයට පත්වීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය. 

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ බාලක කණ්ඩායමට චනුල් දුල්සේන්, ධනුෂ්ක විජේසිංහ, තිසස් රංචාගොඩ සහ හිරුණ වරුසවිතාන යන ක්‍රීඩකයෝද, වයස 19 න් පහළ බාලිකා කණ්ඩායමට බිමන්දි බණ්ඩාර, අයිලා චිට්ටි, මනීෂා ශාලින්දි සහ සඳුනි ප්‍රබුද්ධිකා යන ක්‍රීඩිකාවෝද ඇතුළත් වූහ. 

වයස 15 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් ඉසව් දෙකේදීම ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. අවසන් පූර්ව තරගවලදී පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා වයස 15 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් දෙකටම ලෝකඩ පදක්කම් හිමිවිය. දෙව්මෙත් වීරසේන, ජනිත් බටුගෙදර සහ ඩිරාන් හාමර් යන ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා වයස 15 න් පහළ බාලක කණ්ඩායම සමන්විත වූ අතර ලෙසන්‍යා සෙතුමදී, ටමාදි කාවින්ද්‍යා සහ ඉමල්ෂා සෙව්මිණී යන ක්‍රීඩිකාවෝ වයස 19 න් පහළ බාලිකා කණ්ඩායමට ඇතුළත් වූහ. 

බාලක ඉසව්වේ (15 න් පහළ) මූලික වටයේදී වට 3-0 ක් ලෙස මාලදිවයින පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, බංග්ලාදේශය හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්වූහ. අවසන් පූර්ව වටයේදී ඔවුන් ඉන්දියාව හමුවේ පරාජයට පත්වූයේද වට 3-0 ක් ලෙසිනි. එහි මූලික වටයේදී බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නම් ඔවුන්ට අවසන් පූර්ව වටයේදී ඉන්දියාව වෙනුවට පාකිස්තානයට හෝ නේපාලයට එරෙහිව තරග වැදීමට අවස්ථාව තිබිණ. 

බාලිකා ඉසව්වේ (15 න් පහළ) මූලික වටයේදී වට 3-0 ක් ලෙස පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, මාලදිවයින හමුවේ වට 3-1 ක් ලෙස පරාජයට පත්වූහ. අවසන් පූර්ව වටයේදී නේපාලය හමුවේ වට 3-1 ක් ලෙසද ශ්‍රී ලංකා බාලිකාවෝ පරාජයට පත්වූ අතර මේසපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායමක් එවන් පරාජයක් ලැබූ පළමු අවස්ථාවද එය විය. 

බුද්ධික දික්කුඹුර සහ ලක්ෂාන් හර්ෂණ යන මහත්වරු පුහුණුකරුවන් ලෙස මෙම සංචාරයේදී ශ්‍රී  ලංකා කණ්ඩායමට එක්ව සිටි අතර එහිදී බුද්ධික නියරේපොළ මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙසත්, ශර්මිලා මනෝජිකා මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසත් කටයුතු කළහ. බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස සංචාරයට එක්වූ මනෝජිකා මහත්මිය කිසිදු පාසලක ගුරුවරියක ලෙස සේවය නොකරන බවත්, ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි ක්‍රීඩිකාවකගේ පෞද්ගලික පුහුණුකාරිණිය ලෙස කටයුතු කරන බවත් ‘ලංකාදීප’ මින් පෙර අනාවරණය කළේය. 

පවතින ක්‍රමවේදය අනුව පාසල් ළමුන් සහභාගී වන ක්‍රීඩා තරග සංචාරයක් සඳහා බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස පත්කරනු ලබන්නේ පාසල් ගුරුවරියක වුවත්, පුහුණුකාරිණියක ලෙස කටයුතු කරන මනෝජිකා මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස මෙම සංචාරයට එක්කර ගැනීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපතිනියක් බවටද එහිදී වැඩි දුරටත් කරුණු වාර්තා විය. 

තරගාවලිය පැවැති දිනවලදී ශ්‍රී ලංකාවේ සිට මාලදිවයිනට යෑම සහ ආපසු පැමිණීම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල දළ වශයෙන් රුපියල් 145,000 ක පමණ අගයක් ගත්තේය. එබැවින් මෙම සංචාරයට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනාගේ සහ පුහුණුකරුවන් දෙදෙනාගේ ගුවන් ගමන් සඳහා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් විසිතුන් ලක්ෂ විසිදහසක පමණ පිරිවැයක් දැරීය.  

අවසන් මොහොත වන තෙක්ම අවිනිශ්චිත තත්ත්වයක පැවැති මෙම තරග සංචාරය ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයා වන හිටපු අමාත්‍ය කනක හේරත් මහතාගේ මැදිහත්වීම මත සාර්ථක කර ගැනීමට හැකිවිය. එහිදී කණ්ඩායමේ කලමණාකරුගේ සහ බාලිකාවන් භාර නිලධාරිණියගේ ප්‍රවේශපත් සඳහා වියදම් දරුණු ලැබුවේද ශ්‍රී ලංකා මේසපන්දු සංගමය විසිනි. 


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු පිලේ දස්කම් දියවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.