Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවේ අරමුණ ආරක්ෂාවයි

ශ්‍රී ලංකාවේ අරමුණ ආරක්ෂාවයි

editorial - 2021 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෙබනනයට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේදී පරාජයේ හානිය අවම කරගත් බැවින් ‘සෝල්’ නුවරදී දකුණු කොරියානුවන්ට එරෙහිව හෙට (9 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන - ආසියානු කලාප (දෙවැනි වටයේ) තරගයට චකිතය අවම කර ගනිමින් සහභාගි වීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකිවී තිබේ.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30 ට ආරම්භ වෙයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉලක්කය වනු ඇත්තේ දකුණු කොරියානුවන්ගෙන් ආරක්‍ෂා වෙමින් පරාජයේ අවමානය හැකිතාක් අවම කර ගැනීමය.

මෙම තරග වටයේ පළමු මුණගැසීමේදී ශ්‍රී ලංකාව දකුණු කොරියාව හමුවේ ගෝල 8–0ක දැවැන්ත පරාජයක් ලැබීය. එබැවින් දකුණු කොරියාව හමුවේ ජයග්‍රහණයක් සෙවීම කිසිසේත් පහසු කටයුත්තක් නොවේ.

1986 සිට මේ දක්වා ලෝක කුසලාන කුසලාන තරගාවලියේ හොඳම කණ්ඩායම් 32 ට අඛණ්ඩව ක්‍රීඩා කරන දකුණු කොරියාව යනු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපන්දු තරගාවලියටත් සුදුසුකම් ලබා සිටින ආසියාවේ දියුණුතම පාපන්දු ක්‍රීඩාවක් පවතින රටකි.

වසර 2002 පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබාගත් දකුණු කොරියාව වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 37 වැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාව එහි 204 වැනි ස්ථානයේ පසුවෙයි.

එබැවින් අද තරගය ‘ලිලිපුට්ටන්’ හා ‘කුරුමිට්ටන්’ අතර තරගයකි. ආසියාවේ තෙවැනි ස්ථානයේ පසුවන දකුණු කොරියානුවන්ට ඔවුන්ගේ රටේදීම මුණගැසෙන්නේ ආසියාවේ අන්තිමයා (44 වැනි ස්ථානය) හෙවත් ශ්‍රී ලංකාවයි. එයින්ද දෙපිලේ තත්ත්වය මැන බැලිය හැකිය. කෙසේ වුවත් දකුණු කොරියානුවන්ට අද තරගයේදී විශාල ජයක් අපේක්ෂා කරන්නේ 2022 ලෝක කුසලාන අවසන් වටය දක්වා යන ගමනට එය වැදගත් වන බැවිනි.

ලෝක කුසලාන ඉදිරි තරග වටයට පිවිසීම සඳහා ‘එච්’ කාණ්ඩයෙන් දකුණු කොරියාව හා සම ප්‍රසාද ලකුණු 10ක් බැගින් ලබා දෙවැනි ස්ථානයේ පසුවන ලෙබනනය අතර අති තියුණු සටනක් ඇතිවී තිබේ. අද තරගය කොරියාව ජය ගනු ඇතැයි උපකල්පනය කළහොත් ඔවුන්ට එකතු වන මුළු ප්‍රසාද ලකුණු ගණන 13ක් දක්වා ඉහළ යයි.

එහෙත් ලෙබනනය සහ තුර්ක්මෙනිස්ථානය අතර අද පැවැත්වෙන තරගයේදී ලෙබනන් පිල ජයගතහොත් ලෙබනනයත් ප්‍රසාද ලකුණු 13 ක් හිමිවේ. ඒ අනුව ලබන ඉරිදා (13 වැනිදා) ලෙබනනය සහ දකුණු කොරියාව අතර තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇත. කෙසේ වෙතත් එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමත් කොරියානුවන්ට ඊළඟ වටයට පිවිසීමට ප්‍රමාණවත් වේ.

තරග හතරකදී මෙතෙක් ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයන් ලබා නොදී ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල 15 ක්ම ලබා ඉදිරියෙන් පසුවීමට දකුණු කොරියාව දැනටමත් සමත්ව සිටී. ලෙබනනය මේ දක්වා ගෝල 8 ක් ලබාගෙන ඇතත් ලෙබනන් පිලට එරෙහිව ගෝල 3 ක් වාර්තා වී තිබේ.

මැද පෙළ ක්‍රීඩක චරිත් බණ්ඩාර සේනානායකට අද තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිව තිබේ. ලෙබනනයට එරෙහිව පැවැති තරගයේදී විනිසුරු වෙතින් කහ කාඩ් ලබා දැඩි අවවාද ලැබූ චරිත් ඒ සමග පිට පිටම ජාත්‍යන්තර තරග දෙකකදී කහ කාඩ් පත ලබා සිටීම හේතුවෙන් ඔහුට අද තරගයට ක්‍රීඩා කළ නොහැකිය.

අද තරගය නිමාවූ සැණින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පෙරළා ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

ඉරිදා නිමාවට පත්වන ‘එච්’ කාණ්ඩයේ ශූරයෝ ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යති. එහෙත් එච් කාණ්ඩයේ ශූරයන් හා අනුශූරයන් වන කණ්ඩායම් දෙකටම වසර 2023 දී පැවැත්වෙන මීළඟ ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ අරමුණ ආරක්ෂාවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.