Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවේ පාපන්දුවට අන්තර්ජාතික තහනමක්

ශ්‍රී ලංකාවේ පාපන්දුවට අන්තර්ජාතික තහනමක්

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මූලධර්මවලට පටහැනිව කටයුතු කිරීමේ චෝදනා මත, ශ්‍රී ලංකාවට ඊයේ (21) සිට බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙන තුරු ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ බව එම සම්මේලනය ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මහලේකම් ෆාත්මා සමවුරා මහත්මිය ඊයේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික සියලු රටවලට නිවේදනය කළ පරිදි තහනම බලපැවැත්වෙන කාලය තුළදී ශ්‍රී ලංකාවට සියලු ආකාරයේ ජාත්‍යන්තර පාපන්දු තරගවලට සහභාගිත්වය හා ජාත්‍යන්තර පාපන්දු කටයුතුවල නිරත වීම මුළුමනින්ම තහනම් වනු ඇත. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පාපන්දු තහනමක් ජාත්‍යන්තර සම්මේලනය පැනවූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු තහනමට ආසන්නතම හේතුව ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට පටහැනිව පැවැත්වූ බවට කෙරෙන චෝදනාවයි.

‘සුරිච්’ නුවර අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයේ සිට ශ්‍රී ලංකාවේ තහනම ප්‍රකාශයට පත් කළ එහි ප්‍රධාන ලේකම් ෆාත්මා සමවුරා මහත්මිය සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ, අන්තර්ජාතික පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති ශ්‍රී ලංකාවට නැවත දැනුම් දෙන තුරු පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු යටතේ සියලු ආකාරයේ ජාත්‍යන්තර පාපන්දු තරග සහභාගිත්වය මෙන්ම සියලු ආකාරයේ පාපන්දු ක්‍රියාකාරකම් ද තහනම් වන බවයි.

ශ්‍රී ලංකාවේ බලධාරීන් සිය පාර්ශ්වය හා එකඟ වූ ක්‍රියාපටිපාටියෙන් බැහැරව පාපන්දු ක්‍රියාකාරකම් සඳහා තෙවැනි පාර්ශ්වයක මැදිහත් වීමක් කර ඇතැයි ද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පෙරේදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පසුගිය ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා සභාපති ධුරයට තේරී පත් විය. කෙසේ වුවත්, එම නිලවරණය කැඳවීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට හා ක්‍රීඩා අමාත්‍යාංශයට පාපන්දු නිලවරණය සඳහා උපදේශන මාලාවක් ද දුන්නේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නොසතුටට හේතු වූ ප්‍රධානතම කාරණාව වන්නේ ද එම  මාර්ගෝපදේශයට අනුව ශ්‍රී ලංකාවේ පාපන්දු ව්‍යවස්ථාව සකස් කිරීමට මෙතෙක් උනන්දු නොවීමයි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මෑත වසර කිහිපයේදීම ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නැංවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 බැගින් වන මූල්‍යාධාර සපයා තිබේ. ආසියානු පාපන්දු සමුළුව ද ශ්‍රී ලංකාවට වසරකට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 5ක මූල්‍යාධාරයක් ලබා දේ.

ශ්‍රී ලංකාවට ඊයේ සිට බලපැවැත්වෙන අන්තර්ජාතික පානන්දු තරග තහනම හමුවේ මෙම සියලු මූල්‍යාධාර ගෙවීම ද අත්හිටුවීමට පියවර ගැනේ.

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය දැනුම් දී ඇති පරිදි ඉහත සඳහන් මතභේදාත්මක කාරණා නිවැරැදි කරගැනීමෙන් පසුව මේ තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බලනු ඇත.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ පාපන්දුවට අන්තර්ජාතික තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.