Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටෝක්ස් තනි අතින් කාලය කරකවයි
අවසන් මහ තරගය

ස්ටෝක්ස් තනි අතින් කාලය කරකවයි

editorial - 2022 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවසන් මහ තරග සඳහාම උපන් ක්‍රීඩකයකු වන බෙන් ස්ටෝක්ස් වසර 6 කට ඉහතදී තමන් අතින් සිදුවූ අතපසුවීම සම්පූර්ණයෙන්ම ආපිට කරකවමින් විස්සයි-20 ලෝක කුසලානය එංගලන්තයට දිනා දුන්නේය. ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අද (13 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 138 ක ඉලක්කයක් කරා ගිය එංගලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 52 ක් ලබාගත් බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා නොවූවද, ඕවර 16 ක් පුරා පිටියේ රැඳෙමින්, එංගලන්ත කණ්ඩායම කරේ තබාගෙන ජයග්‍රහණය කරා පියමං කළේය.

මෙය එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාවයි. වසර 2010 දී වි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි.

අද පැවැති තරගයේදී පාකිස්තානය සිය ඕවර 20 දී කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු 137 එංගලන්ත පිතිකරුවෝ ඕවරයක් ඉතිරිව තිබියදී පසුකර ගියහ. ඒ වන විටත් එංගලන්තය සතුව කඩුලු 5 ක් ඉතිරි වී තිබිණ.

වසර හයකට ඉහත, (2016 දී) ඉන්දියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී කොදෙව් පිලේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 6 කදී ලකුණු 19 ක් අවශ්‍යව තිබිණ. අවසන් ඕවරයේදී ලකුණු 18 ආරක්‍ෂාකර ගැනීම බාර වූයේ බෙන් ස්ටෝක්ස්ටය. එහෙත් බෙන් ස්ටෝක්ස්ගේ පළමු පන්දු 4 ටම හයේ පහර 4 ක් ගැසූ කාලෝස් බ්‍රැත්වෙයිට් දෙවැනි වතාවටත් විස්සයි-20 ලෝක කුසලානය කොදෙව් පිලට දිනා දුන්නේය.

2016 දී තමන් අතින් ගිළිහී ගිය විස්සයි-20 ලෝක කුසලානය මෙවර එංගලන්තයට දිනා දුන් ස්ටෝක්ස් පන්දු 49 කින් ලබාගත් ලකුණු 52 ට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

තරගයේ වාසිය දෙපිලටම දෝලනය වෙමින් තිබූ මොහොතක, ආබාධයකට ලක්වූ ශහීන් ෂා අෆ්රීඩි වෙනුවට පන්දු යැවීම බාරගත්  ඉෆ්තිකාර් අහමඩ් හමුවේ පන්දු 5 කින් ලකුණු 13 ක් උදුරාගත් ස්ටෝක්ස් තරගයේ වාසිය එංගලන්තයට ඇදගත්තේය. එතැන් සිට එය තනි තුරඟකුගේ තරගයක් විය.

එංගලන්තය එක්දින ලෝක කුසලාන දිනාගත් 2019 අවසන් මහ තරගයේදීත්, නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 84 ක් ලබාගනිමින් තරගයේ වීරයා වූයේ බෙන් ස්ටෝක්ස්මය.

ස්ටෝක්ස්ගේ ඓතිහාසික කාර්යභාරය එසේ වූවත් තරගයේ වීරයා සම්මානය, සෑම් කරන්ට හිමිවීම යුක්ති සහගතය.

ප්‍රතිවාදී ඉනිමේ අවසන් ඕවර 4 ලකුණු 18 කට සීමාකළ සෑම් කරන් සහ ක්‍රිස් ජෝර්ඩ්න් දෙදෙනා පකිස්තානුවන්ගේ ඉනිම ලකුණු 137 කට සීමා කළහ. අවසන් ඕවර 4 දී පාකිස්තානුවන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ ලකුණු 3 ක්, 5 ක්, 4 ක් සහ 6 ක් වශයෙනි. මේ අතරවාරයේදී පාකිස්තානුවෝ සිව් දෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

එංගලන්තය වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අදිල් රෂීඩ්, සෑම් කරන් සහ ක්‍රිස් ජෝර්ඩන් තිදෙනා බිඳ වැටුණු කඩුලු 8 න් කඩුලු 7 ක් බෙදාගත්තා පමණක් නොව තමන්ගේ ඕවර 12 ලකුණු 61 කට සීමා කළහ. එංගලන්ත පන්දු යවන්නන් විසින් නිර්මාණය කරන ලද පීඩනය කොතෙක් වූයේද යත් පාකිස්තානු ඉනිමේ කිසිම පිතිකරුවකුට ලකුණු 40 න් ඔබ්බට යා නොහැකි විය.

ඉනිමේ 16 වැනි ඕවරයේදී පාකිස්තානු ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 4 කට 119 කි. මෙම තරගයේ තීරණය රැඳී ඇත්තේ ඉනිමේ අග්ගිස්සේ ඕවර 4 න් පාකිස්තානුවන් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අනුව වුවද එම කාලයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 18 කි.

අදිල් රෂීඩ් සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකර ගනිමින් කඩුලු දෙකක් ද දවාගත්තේය. රෂීඩ්ගේ ඕවර 4 ට නොයිඳුල් ඕවරයක් ද ඇතුළත් වූ අතර එම ඕවරයේදී අලංකාර ගුග්ලි පන්දුවකින් පාකිස්තානු නායක බාබර් අසාම් දවාගැනීමට රෂීඩ්ට හැකිවිය. බාබර් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඉෆ්තිකාර් අහමඩ්ට අදිල් අෂීඩ්ගේ ඉතිරි පන්දු 5 න් එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

ප්‍රහාරාත්මක ඕවර 6 දී අපේක්‍ෂා කළ තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි වූ නමුත්, ඕවර 4 කින් ලකුණු 29 ක් ලබාගත් පාකිස්තානුවෝ ඉනිමේ පළමු අර්ධය නිමාවේදී ලකුණු වේගය 6.8 ක රඳවා ගත්හ. එහෙත් පිතිකරුවන් එකා පසුපස  එකා දැවීයාම හේතුවෙන් අවසන් ඕවර කිහිපයෙදී පාකිස්තානුවන්ට අවශ්‍ය තරම් ලකුණු ලබාගත නොහැකි විය.

ක්‍රිස් වෝක්ස් යැවූ සිව්වැනි ඕවරයේදී ලකුණු 12 ක් ලබාගැනීමට බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් සමත් වූවත්, පස්වැනි ඕවරයේදීම සෑම් කරන් ක්‍රියාත්මක විය. කරන්ගේ පන්දුවක් හමුවේ රිස්වාන් දැවී යාමෙන් පසුව පාකිස්තානුවෝ තරමක් පසුබට වූහ. එතැනින් ආරම්භ කළ සෑම් කරන් සිය ඕවර 4 නිමා කළේ 4-0-12-3 ක් ලෙසිනි.

 


අදහස් (0)

ස්ටෝක්ස් තනි අතින් කාලය කරකවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.